2020

Monday, November 30, 2020

බන්ධනාගාර - ගැටුම් වලින් ඔබ්බට....


මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බවට මාධ්‍ය වාර්තා පළ වෙයි. ඒ ගෙවී යන දශකය තුල ශ්‍රී ලංකාවේ සිදු වූ දෙවන බරපතළ බන්ධනාගාර කැරැල්ලයි. මීට පෙර 2012 නොවැම්බර් 9-10 දින වල වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ මෙවැනිම ගැටුමකින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තවත් හතලිස් ගණනක් තුවාල ලැබූ හ. අප බොහෝ දෙනා විශ්වාස කරන පරිදි පුද්ගලයන් බන්ධනාගාරගත කරනු ලබන්නේ දඬුවමක් වශයෙනි. එබැවින් බන්ධනාගාරගත වන රැඳවියා හැකි තාක් අවම පහසුකම් සහ අප්‍රසන්න සහ පීඩාකාරී වාතාවරණයක ජීවත් වන බවට බන්ධනාගාරය වග බලා ගත යුතුය. 29 වෙනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පල වන ප්‍රකාශ වලින් ද සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් වන්නේ එවැනි ආකාරයේ ප්‍රකාශ වලට ය.


එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලාංඡනයට අනුව එහි කාර්යභාරයට අයත් අංශ තුනකි. ඒවා ඉංග්‍රීසි C අකුරෙන් ආරම්භ වේ. එනම් Custody - රඳවා ගැනීම, Care - රැකවරණය සැපයීම, සහ Correction - විශෝධනය යි. එහෙත් ඒවා නිසි පරිදි සිදු වන්නේ ද යන්න ගැන පහත සංඛ්‍යාලේඛන විමසා බැලීමෙන් දැනගත හැකිය. 

1844 දී ආරම්භ කිරීමෙන් පසුව ගතවූ සියවස් දෙකකට ආසන්න කාලයෙන් වැඩි ප්‍රමාණයක් මෙරට බන්ධනාගාර වල සිටිය යුතු සිරකරුවන් ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් රඳවනු ලැබ සිටිති. එය ලෝකයේ බොහෝ රටවලට පොදු තත්ත්වයක් වුවත් පසුගිය වසර 5 ක කාලය සලකා බැලීමේ දී එහි විශාල වර්ධනයක් දැකිය හැකිය. 2016 වර්ෂයේ දී 131.6% ක් වූ මෙරට බන්ධනාගාර වල ජනගහනය 2019 වසර අවසන් වන විට 184.59% දක්වා වැඩි වී තිබේ. එසේ වන්නේ 2016 දී 58 ක්ව පැවති බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පැවති ආයතන සංඛ්‍යාව අඟුනකොලපැලැස්ස සහ දුම්බර බන්ධනාගාර ද සමග 2019 දී 60 ක් දක්වා ඉහළ ගිය පසුබිමක ය. එලෙස බන්ධනාගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාවෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් (2019 දී 58.31% ක්) රිමාන්ඩ් සිරකරුවන් ය. 2016 දී 94655 ක් වූ  අලුතින් බන්ධනාගාරගත කරන ලද රිමාන්ඩ් සිරකරුවන් සංඛ්‍යාව 2019 දී 115325 ක් දක්වා විසි දහසකින් ඉහළ ගොස් තිබේ. 

එලෙස බන්ධනාගාර වල සිරකරුවන් සංඛ්‍යාව වැඩි වන විට සම්පත් බෙදී යාමේ විෂමතාවයක් ඇති වීම පොදු තත්ත්වයකි. එවිට සාමාන්‍යයෙන් බන්ධනාගාරයක් තුල දී සැපයිය යුතු යැයි නිර්නය කර ඇති පහසුකම් සිරකරුවන්ට නොලැබී යයි. උදාහරණයක් ලෙස එක් ගොඩනැගිල්ලක හෝ 'වාට්ටුවක' සිටිය යුතු යැයි නියමිත පුද්ගලයන් සංඛ්‍යාව 100 ක් නම් දැන් පුද්ගලයන් 180 කට හෙවත් ආසන්න වශයෙන් දෙගුණයකට ඉඩ පහසුකම් සැලසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ. ඒ හා සමානව පෞද්ගලිකත්වය, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂාව, පිරිසිදු කම ආදී අවශ්‍යතාවයන් ද ලැබිය යුතු තරමට ලැබෙන්නේ නැත. සාමාන්‍ය සමාජයක වුවද ආහාර සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන විට පුද්ගලයන් කැරළි ගැසීමට පෙළඹෙන බව පිලිගත් මූලධර්මයකි. බන්ධනාගාර සැලකීමේ දී අධික ජනගහනය බන්ධනාගාර වල කැරලි, සිය දිවි නසාගැනීම්, නැවත නැවත බන්ධනාගාරගත වීම් සහ මානසික රෝග ඇති වීමට බලපාන බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන තිබේ. 

පුද්ගලයන් බන්ධනාගාරගත කිරීමෙන් අපේක්ෂා කරනුයේ ඔහු හෝ ඇය විශෝධනය වූ පුද්ගලයකු වශයෙන් නැවත සමාජගත වී නීත්‍යානුකූල පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම ය. එහෙත් 2019 වසරේ දී බන්ධනාගාරගත කරන ලද සිරකරුවන් අතරින් 44.8% ක් මීට පෙර එක් අවස්ථාවක හෝ වැරදිකරුවෙකු ලෙස බන්ධනාගාරගත වී තිබේ. එයින් 2.5% ක් මීට පෙර අවස්ථා පහක් හෝ ඊට වැඩි ගණනක් වැරදිකරුවන් බවට පත් වී ඇත. රිමාන්ඩ් බන්ධනාගාර වල නැවත නැවත බන්ධනාගාරගත වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය මීට වඩා බොහෝ වැඩි ය. ඒ හේතුවෙන්ම දිනෙන් දින බන්ධනාගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර අලුතින් බන්ධනාගාර ඉදි කිරීමට පවා සිදු වී ඇත. ඒ දියුණු බන්ධනාගාර පද්ධති ඇති ස්වීඩන්, නෝර්වේ වැනි රටවල් සිය බන්ධනාගාර වසා දමමින් යන පසුබිමක ය. 

ස්වීඩනයේ සිර කුටියක්

බන්ධනාගාරගත වන පුද්ගලයන් නැවත සමාජගත කිරීම සඳහා විධිමත් සහ ඵලදායී පුනරුත්ථාන වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුව තිබේ. මෙරට බන්ධනාගාර වල සිරකරුවන්ට නිරත විය හැකි වැඩ කණ්ඩායම් හෙවත් පාටි තිහකට අධික ප්‍රමාණයක් තිබේ. එහෙත් ඒ එක් වැඩ කණ්ඩායමකින් හෝ දඬුවම් කාලය අවසන් කර නිදහස් වන සිරකරුවාට ජීවනෝපායක් සකසා ගත හැකි කුසලතාවයක් ලබා දෙන්නේ නැත. සිරකරුවන් අතරින් 90% ක් විශ්වාස කරන්න‌ේ පාටියක වැඩ කිරීම ඔවුන්ගේ දඬුවමේ කොටසක් බව ය. බන්ධනාගාරය තුල පුද්ගලයන්ට සිය ආවේග කලමනාකරණය කරගැනීම, ජීවන කුසලතා සංවර්ධනය කර ගැනීම ආදී වැරදිකරුවකු නීතිගරුක පුරවැසියෙකු බවට රූපාන්තරණය කිරීමට අවශ්‍ය වන කුසලතා පුහුණුවට නිසි ක්‍රමවේද ක්‍රියාත්මක නොවේ. එසේ ක්‍රියාත්මක වුවද වැඩි ජනගහනයක අවශ්‍යතා සැපිරීමට ඒවා ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට අලුතින් බන්ධනාගාරයට ඇතුලු වන රිමාන්ඩ් සිරකරුවා නැවත ඉන් පිටත් වන්නේ අලුතින් අපරාධ කිරීමට අවශ්‍ය වන කුසලතා සහ සම්බන්ධතා රැසක් ගොඩනඟාගෙන ය. මේ සියල්ල විසින් බන්ධනාගාර පද්ධතිය සිරකරුවන්ට, ඔවුන්ගේ ඥාතීන්ට හෝ සිවිල් පුරවැසියන්ට විශ්වාසදායක නොවන ආයතන ව්‍යුහයක් බවට පත් ව ඇත. එහි ප්‍රතිඵලය වන්නේ එක්කෝ කෙසේ හෝ බන්ධනාගාරයෙන් පැන යාම ය, නැතහොත් සිරකරුවන් මරා දැමිය යුතු යැයි විශ්වාස කිරීම ය.

එබැවින් ඉදිරියේ දී මෙවැනි කැරළි කෝලාහල ඇති වීම වැලැක්වීමට නම් සහ සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය යන කියමන යතාර්ථයක් කිරීමට නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුව තිබේ. සතුටුදායක කාරණය වන්නේ මෑතක දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පස් අවුරුදු සැලැස්මේ මේ ගැටලු හඳුනාගෙන තිබීම ය. 2025 වන විට එහි අපේක්ෂිත අරමුණු වලින් කිහිපයක් හෝ නිසි පරිදි ඉටු කර ගැනීම මෙරට බන්ධනාගාර පද්ධතියට පමණක් නොව සමස්ථ සමාජයටම යහපත් ප්‍රතිඵල ඇති කරනු ඇත. එසේ නොමැතිව එක් එක් අවස්ථා වල බලය යොදවා පාලනය කිරීමෙන්, බන්ධනාගාර නීති තද කිරීමෙන්, දේශපාලන තීන්දු තීරණ මතවාද ආදියෙන් හෝ බොහෝ දෙනා අපේක්ෂා කරන පරිදි දඬුවම් බරපතල කිරීමෙන් බන්ධනාගාර වල අර්බුද වලට විසඳුමක් සෙවිය නොහැකි ය. 



Sunday, July 19, 2020

සිය දිවි නසා ගැනීම විසඳුමක් ද?


සිකුරාදා රාත්‍රිය උදා වුණේ Chhichhore සිනමා පටය සමග ය. එය ඉතා ආදරණීය සිනමා පටයකි. පිය සෙනෙහස, පවුල, හිතවත්කම් සමග ගෙවී ගිය ඒ පැය දෙක හමාරක කාලයේ ත්, ඉන් පසුවත් මා මගෙන්ම විමසන පැනයක් තිබේ. ඒ, මාස කිහිපයකට පෙර ජීවිතයට බලාපොරොත්තුවේ ඇති බලය ගැන සිනමා පටයක ප්‍රධාන චරිතයෙන් කතා කරන සුෂාන්ත් සිං රාජ්පුත්, සිය ජීවිතයට සමු දීමට මෙතරම් ඉක්මන් වූයේ මන්ද යන්නයි. සිය දිවි නසා ගැනීමේ චර්යාව එසේ ය. මීට ටික දවසකට පෙර සිය දිවි නසා ගත් (හෝ අවම වශයෙන් අවසන් ලිපියේ සඳහන් ව තිබූ කරුණු අනුව) රජීව ජයවර්ධන මහතා තරම් සාමකාමී, සැළසුම් සහගත මරණයක් කිසිවකුට හෝ තිබිය හැකි ද? දිනකට අකාලයේ සිය ජීවිතය අහිමි කර ගන්නා ශ්‍රී ලාංකිකයන් අට දෙනා ගෙන තිබෙන්නේ නිවැරදි ම තීරණය ද? එය එසේ වන්නට හෝ නොවන්නට පුළුවන. එය ඔබට හෝ මට තීරණය කල හැකි නොවේ. එහෙත්, එකී තීරණයට පෙරාතුව තවත් එකම එක විසඳුමක් හෝ තිබූ බව නම් සහතිකව කිව හැකිය. එහෙත් ඒ විසඳුම නොදැක අද පස්වරුවේ තවත් කුසලතා පූර්ණ සරසවි සිසුවෙක් සිය දිවි ගමන නිමා කර තිබිණි.
IIT-Bombay to host a special screening of 'Chhichhore' for their ...
සිය දිවි නසා ගැනීම් වලක්වා ගත හැක්කේ කෙසේ දැයි අප බොහෝ අවස්ථා වල කතා කර ඇත්තෙමු. මනෝ විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් විසින් COVID-19 වසංගතයත් සමග ලොව පුරා සිය දිවි නසා ගැනීමේ චර්යාවන් වැඩි විය හැකි බව පුරෝකථනය කර තිබේ. එහි අපේක්ෂිත බලපෑම කොතෙක් ද යත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ට පවා 'වසංගතයෙන් පසුව ඇති විය හැකි මානසික සෞඛ්‍ය බලපෑම් අවම කිරීමට දැන් ම පියවර ගත යුතු' යැයි ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා සිදු විය. එයින් නොනැවතී පසුගිය මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒ වෙනුවෙන් සාමූහික ප්‍රකාශනයක් ද එළි දැක්වීය. 

සමාජ දුරස්ථකරණය, අනාගතය පිළිබඳ අවිනිශ්චිත බව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, වසංගත තත්ත්වය කෙරෙහි ඇති බිය සහ ආරක්ෂිත පියවර හේතුවෙන් ඇති වන ආතතිය, බරපතල ලෙස ඇති වෙමින් පවතින ආර්ථික ගැටලු සහ රැකියා අහිමි වීම් ආදිය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වල ඉහළ යාමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ. American Medical Association අලුතින් නිකුත් කල වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ සිය දිවි නසා ගැනීම් හා වෙනත් මානසික ව්‍යාකූල තත්ත්වයන් පාලනය කිරීම සඳහා ඉක්මන් පියවර ගත යුතුව ඇති බවයි. Speak Your Mind, සිය Return On the Individual (ROI) වාර්තාව අප්‍රේල් මාසයේ දී එළි දක්වමින් #TimeToInvest නමින් හෑෂ් ටැග් එකක් ද හඳුන්වා දෙනු ලැබුවේ 'It is time to invest in mental health, now, more than ever' යනුවෙන් සඳහන් කරමිනි. 

සැබැවින්ම අන් කවරදාටත් වඩා පුද්ගලයන් වශයෙන්, සමාජය වශයෙන් මෙන්ම ආයතනික, ජාතික සහ ගෝලීය වශයෙන් මානසික සෞඛ්‍යය කෙරෙහි ආයෝජනය කිරීම අත්‍යවශ්‍යව තිබේ. එය කරන්නේ කෙසේ දැයි අප ඉතා ඉක්මනින් සිතා බැලිය යුතුව තිබේ. 

අපට ජීවිතයේ ඕනෑම අවස්ථාවක තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය නැතැයි හැඟීමක් ඇති විය හැකිය. එහෙත් පුද්ගලයෙක් එයින් ඔබ්බට ගොස් සිය දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ කලාතුරකිනි. මේ දින වල තිරගත වන සුස්ති සිනමාපටයේ එක් දෙබසක මෙසේ කියවෙයි. 'නොදැන මැරෙන එක හොඳයි දැනගෙන මැරෙනවට වඩා'. ඇය කියන්නේ දුම්රියට පැනීමට වඩා බිම් බෝම්බයකට හසු වී මිය යාම හොඳ බව ය. දැන දැනම ජීවිතය අවසන් කර ගැනීමට උත්සාහ කර ගැනීම අතිශයින්ම පීඩාකාරී ය. එහෙත් කිසිවෙකු එයට පෙළඹෙන්නේ ජීවත් වීම ඒ තරමටම හෝ ඊටත් වඩා පීඩාකාරී යැයි දැනෙන්නට වූ විට ය. එසේ දැනෙන සෑම මොහොතකම එකී පීඩාවට සිය දිවි නසා ගැනීමට මෙහා තවත් එකම එක විසඳුමක් ඇති බව තේරුම් ගත යුතුය. නැතහොත් තේරුම් කර දිය යුතුය. තේරුම් කර දීමේ වගකීම ඇත්තේ සමාජයට ය. 

මානසික සෞඛ්‍යය කෙරෙහි ආයෝජනය කිරීමෙන් ආයතන වලට 1:4 කින් ආදායම් උත්පාදනය කල හැකි යැයි ROI වාර්තාවේ දක්වා තිබේ. එකී ආයෝජනය, උපදේශනය වැනි මානසික සෞඛ්‍ය සේවා සැපයීම, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආයතන තුල ක්‍රියාත්මක කිරීම, සේවක සුබසාධනය හෝ සේවා ආතතිය නියාමනය කිරීම විය හැකිය. ඒ සඳහා ආයතන වලට අමතර බරක් දැරීමට සිදු වනු ඇත. එහෙත්, මේ දුෂ්කර අවස්ථාවේ පවා, මානසික සෞඛ්‍යය කෙරෙහි කරනු ලබන ආයෝජන ඔබට වැඩි ප්‍රතිලාභ ගෙන දෙනු ඇත. 


ඔබට මේ දින වල කිසියම් මානසික පීඩාවක් දැනේ නම්,

01. ඔබට සමීප, විශ්වාසවන්ත පුද්ගලයකු සමග කතා කරන්න. නැතහොත් 1926 හෝ 1333 වැනි දුරකථන උපකාරක සේවාවක් අමතා කතා කරන්න.

02. ඔබේ සිතුවිලි හෝ හැඟීම් චිත්‍ර, කවි හෝ කෙටි කතා වැනි මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශ කරන්න. නැතහොත් නිදහස් තැනක වාඩි වී ඔබට දැනෙන සිතුවිලි සහ හැඟීම් සියල්ල කඩදාසියක සටහන් කරන්න. 

03. ඔබට වඩා උදව් අවශ්‍ය අයෙකුට උපකාර කරන්න. අන් අයට උදව් කිරීමෙන් අපට තෘප්තිකර හැඟීමක් ඇති වෙයි.

04. හැකි තාක් දෛනික ජීවන රටාව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට උත්සාහ කරන්න. දිනකට අවම වශයෙන් පැය 5 ක වත් අඛණ්ඩ නින්දක් ලබා ගන්න. නින්දට යන සහ අවදි වන වේලාවන් එකම රටාවකට පවත්වා ගන්න.

05. හැකි සෑම අවස්ථාවක දී ම මීට පෙර ඔබ නිරත වූ විනෝදාංශ වල නිරත වීමට උත්සාහ කරන්න. 

06. දිනපතා ශරීරයට රිද්මයානුකූල වෙහෙසක් දැනෙන ක්‍රියාකාරකමක හෝ ව්‍යායාම වල නිරත වන්න. (බයිසිකල් පැදීම, ඇවිදීම, පිහිනීම)

07. කෑම වේල් මගහැරීමෙන් වලකින්න. 

08. මානසික සහනය අපේක්ෂාවෙන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් වලකින්න. 

09. ඔබ විසින් කල යුතු වැඩ ලයිස්තුවක් සකස් කර ඒවා එකින් එක ඉටු කිරීමට උත්සාහ කරන්න.

10. ඔබට මේ මොහොතේ සිදු විය හැකි නරකම දේ කුමක්දැයි සිතා බලන්න. එය සිදු නොවීමට ගත යුතු විකල්ප පියවර සැළසුම් කර ක්‍රියාත්මක කරන්න.  

හැකි සෑම අවස්ථාවක දී ම ඔබ අවට සිටින්නන්ගේ පීඩාවන්ට සවන් දෙන්න. එමගින් ඔබට ඔබගේ ප්‍රොෆයිල් පින්තූරයට සුදු කොඩියක් යෙදීමෙන් වැලකී සිටිය හැකි වනු ඇත. 

සියදිවි නසාගැනීම් කිසි විටෙකත් ශූන්‍ය විය නොහැකි නමුත් එක්ව ක්‍රියා කිරීමෙන් අපට දිනෙන් දින අහිමි වන වටිනා ජීවිත ගණන අඩු කර ගත හැකිය. සමහර විට, අප දැන් ක්‍රියාත්මක වුවහොත්, අනාගතයේ දී අපට අහිමි විය හැකිව පවතින ජීවිත ගැන පසුතැවීමට සිදු නොවනු ඇත.