බන්ධනාගාර - ගැටුම් වලින් ඔබ්බට....

Monday, November 30, 2020

බන්ධනාගාර - ගැටුම් වලින් ඔබ්බට....


මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බවට මාධ්‍ය වාර්තා පළ වෙයි. ඒ ගෙවී යන දශකය තුල ශ්‍රී ලංකාවේ සිදු වූ දෙවන බරපතළ බන්ධනාගාර කැරැල්ලයි. මීට පෙර 2012 නොවැම්බර් 9-10 දින වල වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ මෙවැනිම ගැටුමකින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තවත් හතලිස් ගණනක් තුවාල ලැබූ හ. අප බොහෝ දෙනා විශ්වාස කරන පරිදි පුද්ගලයන් බන්ධනාගාරගත කරනු ලබන්නේ දඬුවමක් වශයෙනි. එබැවින් බන්ධනාගාරගත වන රැඳවියා හැකි තාක් අවම පහසුකම් සහ අප්‍රසන්න සහ පීඩාකාරී වාතාවරණයක ජීවත් වන බවට බන්ධනාගාරය වග බලා ගත යුතුය. 29 වෙනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පල වන ප්‍රකාශ වලින් ද සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් වන්නේ එවැනි ආකාරයේ ප්‍රකාශ වලට ය.


එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලාංඡනයට අනුව එහි කාර්යභාරයට අයත් අංශ තුනකි. ඒවා ඉංග්‍රීසි C අකුරෙන් ආරම්භ වේ. එනම් Custody - රඳවා ගැනීම, Care - රැකවරණය සැපයීම, සහ Correction - විශෝධනය යි. එහෙත් ඒවා නිසි පරිදි සිදු වන්නේ ද යන්න ගැන පහත සංඛ්‍යාලේඛන විමසා බැලීමෙන් දැනගත හැකිය. 

1844 දී ආරම්භ කිරීමෙන් පසුව ගතවූ සියවස් දෙකකට ආසන්න කාලයෙන් වැඩි ප්‍රමාණයක් මෙරට බන්ධනාගාර වල සිටිය යුතු සිරකරුවන් ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් රඳවනු ලැබ සිටිති. එය ලෝකයේ බොහෝ රටවලට පොදු තත්ත්වයක් වුවත් පසුගිය වසර 5 ක කාලය සලකා බැලීමේ දී එහි විශාල වර්ධනයක් දැකිය හැකිය. 2016 වර්ෂයේ දී 131.6% ක් වූ මෙරට බන්ධනාගාර වල ජනගහනය 2019 වසර අවසන් වන විට 184.59% දක්වා වැඩි වී තිබේ. එසේ වන්නේ 2016 දී 58 ක්ව පැවති බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පැවති ආයතන සංඛ්‍යාව අඟුනකොලපැලැස්ස සහ දුම්බර බන්ධනාගාර ද සමග 2019 දී 60 ක් දක්වා ඉහළ ගිය පසුබිමක ය. එලෙස බන්ධනාගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාවෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් (2019 දී 58.31% ක්) රිමාන්ඩ් සිරකරුවන් ය. 2016 දී 94655 ක් වූ  අලුතින් බන්ධනාගාරගත කරන ලද රිමාන්ඩ් සිරකරුවන් සංඛ්‍යාව 2019 දී 115325 ක් දක්වා විසි දහසකින් ඉහළ ගොස් තිබේ. 

එලෙස බන්ධනාගාර වල සිරකරුවන් සංඛ්‍යාව වැඩි වන විට සම්පත් බෙදී යාමේ විෂමතාවයක් ඇති වීම පොදු තත්ත්වයකි. එවිට සාමාන්‍යයෙන් බන්ධනාගාරයක් තුල දී සැපයිය යුතු යැයි නිර්නය කර ඇති පහසුකම් සිරකරුවන්ට නොලැබී යයි. උදාහරණයක් ලෙස එක් ගොඩනැගිල්ලක හෝ 'වාට්ටුවක' සිටිය යුතු යැයි නියමිත පුද්ගලයන් සංඛ්‍යාව 100 ක් නම් දැන් පුද්ගලයන් 180 කට හෙවත් ආසන්න වශයෙන් දෙගුණයකට ඉඩ පහසුකම් සැලසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ. ඒ හා සමානව පෞද්ගලිකත්වය, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂාව, පිරිසිදු කම ආදී අවශ්‍යතාවයන් ද ලැබිය යුතු තරමට ලැබෙන්නේ නැත. සාමාන්‍ය සමාජයක වුවද ආහාර සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන විට පුද්ගලයන් කැරළි ගැසීමට පෙළඹෙන බව පිලිගත් මූලධර්මයකි. බන්ධනාගාර සැලකීමේ දී අධික ජනගහනය බන්ධනාගාර වල කැරලි, සිය දිවි නසාගැනීම්, නැවත නැවත බන්ධනාගාරගත වීම් සහ මානසික රෝග ඇති වීමට බලපාන බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන තිබේ. 

පුද්ගලයන් බන්ධනාගාරගත කිරීමෙන් අපේක්ෂා කරනුයේ ඔහු හෝ ඇය විශෝධනය වූ පුද්ගලයකු වශයෙන් නැවත සමාජගත වී නීත්‍යානුකූල පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම ය. එහෙත් 2019 වසරේ දී බන්ධනාගාරගත කරන ලද සිරකරුවන් අතරින් 44.8% ක් මීට පෙර එක් අවස්ථාවක හෝ වැරදිකරුවෙකු ලෙස බන්ධනාගාරගත වී තිබේ. එයින් 2.5% ක් මීට පෙර අවස්ථා පහක් හෝ ඊට වැඩි ගණනක් වැරදිකරුවන් බවට පත් වී ඇත. රිමාන්ඩ් බන්ධනාගාර වල නැවත නැවත බන්ධනාගාරගත වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය මීට වඩා බොහෝ වැඩි ය. ඒ හේතුවෙන්ම දිනෙන් දින බන්ධනාගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර අලුතින් බන්ධනාගාර ඉදි කිරීමට පවා සිදු වී ඇත. ඒ දියුණු බන්ධනාගාර පද්ධති ඇති ස්වීඩන්, නෝර්වේ වැනි රටවල් සිය බන්ධනාගාර වසා දමමින් යන පසුබිමක ය. 

ස්වීඩනයේ සිර කුටියක්

බන්ධනාගාරගත වන පුද්ගලයන් නැවත සමාජගත කිරීම සඳහා විධිමත් සහ ඵලදායී පුනරුත්ථාන වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුව තිබේ. මෙරට බන්ධනාගාර වල සිරකරුවන්ට නිරත විය හැකි වැඩ කණ්ඩායම් හෙවත් පාටි තිහකට අධික ප්‍රමාණයක් තිබේ. එහෙත් ඒ එක් වැඩ කණ්ඩායමකින් හෝ දඬුවම් කාලය අවසන් කර නිදහස් වන සිරකරුවාට ජීවනෝපායක් සකසා ගත හැකි කුසලතාවයක් ලබා දෙන්නේ නැත. සිරකරුවන් අතරින් 90% ක් විශ්වාස කරන්න‌ේ පාටියක වැඩ කිරීම ඔවුන්ගේ දඬුවමේ කොටසක් බව ය. බන්ධනාගාරය තුල පුද්ගලයන්ට සිය ආවේග කලමනාකරණය කරගැනීම, ජීවන කුසලතා සංවර්ධනය කර ගැනීම ආදී වැරදිකරුවකු නීතිගරුක පුරවැසියෙකු බවට රූපාන්තරණය කිරීමට අවශ්‍ය වන කුසලතා පුහුණුවට නිසි ක්‍රමවේද ක්‍රියාත්මක නොවේ. එසේ ක්‍රියාත්මක වුවද වැඩි ජනගහනයක අවශ්‍යතා සැපිරීමට ඒවා ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට අලුතින් බන්ධනාගාරයට ඇතුලු වන රිමාන්ඩ් සිරකරුවා නැවත ඉන් පිටත් වන්නේ අලුතින් අපරාධ කිරීමට අවශ්‍ය වන කුසලතා සහ සම්බන්ධතා රැසක් ගොඩනඟාගෙන ය. මේ සියල්ල විසින් බන්ධනාගාර පද්ධතිය සිරකරුවන්ට, ඔවුන්ගේ ඥාතීන්ට හෝ සිවිල් පුරවැසියන්ට විශ්වාසදායක නොවන ආයතන ව්‍යුහයක් බවට පත් ව ඇත. එහි ප්‍රතිඵලය වන්නේ එක්කෝ කෙසේ හෝ බන්ධනාගාරයෙන් පැන යාම ය, නැතහොත් සිරකරුවන් මරා දැමිය යුතු යැයි විශ්වාස කිරීම ය.

එබැවින් ඉදිරියේ දී මෙවැනි කැරළි කෝලාහල ඇති වීම වැලැක්වීමට නම් සහ සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය යන කියමන යතාර්ථයක් කිරීමට නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුව තිබේ. සතුටුදායක කාරණය වන්නේ මෑතක දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පස් අවුරුදු සැලැස්මේ මේ ගැටලු හඳුනාගෙන තිබීම ය. 2025 වන විට එහි අපේක්ෂිත අරමුණු වලින් කිහිපයක් හෝ නිසි පරිදි ඉටු කර ගැනීම මෙරට බන්ධනාගාර පද්ධතියට පමණක් නොව සමස්ථ සමාජයටම යහපත් ප්‍රතිඵල ඇති කරනු ඇත. එසේ නොමැතිව එක් එක් අවස්ථා වල බලය යොදවා පාලනය කිරීමෙන්, බන්ධනාගාර නීති තද කිරීමෙන්, දේශපාලන තීන්දු තීරණ මතවාද ආදියෙන් හෝ බොහෝ දෙනා අපේක්ෂා කරන පරිදි දඬුවම් බරපතල කිරීමෙන් බන්ධනාගාර වල අර්බුද වලට විසඳුමක් සෙවිය නොහැකි ය. 



2 comments :

  1. ගොන් කතා නොලිය ඉඳින්....

    ReplyDelete
  2. මට හිතෙන්නේ ඔබ කියන දේ තේරුම්ගන්න මේ සමාජයට තව බොහෝ කල් ගතවෙයි.ප්‍රතිචාර වලින් පවා පෙනෙන්නේ එහෙමයි.

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.