Depression ද? අපි කතා කරමු...

Sunday, March 26, 2017

Depression ද? අපි කතා කරමු...


ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල බොහොම උත්කර්ෂවත් විදියට පැවැත්වුණා. පොදු කතාබහේදිත්, පෞද්ගලිකව මටත් ඒ ගැන එක එක විදියෙ විවේචන තිබුණත් කිසියම් නිර්මාණයක් ඇගයීමට ලක් කරන එක බොහොම වටිනා දෙයක්. ඉතින් සම්මානයට පාත්‍ර වුණ හැම සහෝදර බ්ලොග්කරුවෙක්ටම හෘදයාංගම සුබපැතුම් එක්කරන්න කැමතියි. ඒ වගේම අඩුපාඩු ගල්මුල් මැදින් බ්ලොග්කරුවන්ට එක්කාසු වෙන්න අවස්ථාවක් හදල දීපු, බ්ලොග්කරුවන් සම්මානයට පත් කළ සංවිධායක මණ්ඩලයටත්, නෙළුම් යාය කණ්ඩායමටත් ස්තුතියි. 

ඊයෙ හම්බු වෙලා කතා කරපු ගොඩක් අය දැන් ලියන්නෙ නැද්ද කියල අහද්දි ආපු ලැජ්ජාව හින්දත්, පරණ බ්ලොග් එක අහිමි වුණාට පස්සෙ මේ බ්ලොග් එක පටන් ගන්න එක හේතුවක් වුණ බ්ලොග් වසන්ත කියන හාදය මේ අවුරුද්දෙත් අලුත් අවුරුද්දට එන බව කියන හින්දත් ඔන්න ආයෙත් ලියන්න පටන්ගත්ත.

විෂාදය, එහෙම නැත්නම් Depression කියන්නෙ හැමෝම අහල පුරුදු වචනයක්. ඒ විතරක් නෙමෙයි Depression කියන්නෙ බොහොම සුලබ රෝගයක්. ලෝකයේ සෑම කාන්තාවන් හතර දෙනෙක්ගෙන්ම කෙනෙක්, ඒ වගේම සෑම පුරුෂයින් දස දෙනෙක්ගෙන් කෙනෙක් තමන්ගෙ ජීවිත කාලය තුල මේ රෝගය අත්විඳින බව හොයාගෙන තියෙනවා.  හැබැයි ගොඩක් වෙලාවට විෂාදයේ ලක්ෂණ තමන් ගිලගනිමින් ඉන්න අයවත් තමන්ට හැදිල තියෙන්නෙ විෂාදය කියල අවබෝධ කරගන්නෙ නෑ. ඒ නිසාම විෂාදය හැදෙන අයගෙන් 30% ක් විතරයි ප්‍රතිකාර අරගන්න යොමු වෙන්නෙ. ඉතුරු අයගෙන් 15% ක් විතර සිය දිවි නසාගන්නවා. ඒ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය විෂාදය රෝගය "ලෝකයේ මහජන සෞඛ්‍ය ගැටලුවක් - A Global Public Health Concern" වශයෙන් නම් කරල තියෙනවා. 

හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ 7 වෙනිදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයේ මේ වසරේ තේමාව විදියට, මම මේ ලිපියේ මාතෘකාව විදියට යොදාගෙන තියෙන Depression - Let's Talk කියන තේමාව නම් කරල තියෙන්නෙත් මේ සුලබ සෞඛ්‍ය ගැටලුව ගැන ජනතාවගේ දැනුවත් භාවය වැඩි කරන්න. ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය  සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය එක්ක මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් මාළාවක් පවත්වන්න කටයුතු යොදල තියෙනවා. අප්‍රේල් මාසෙ 7 වෙනිදා උදේ කොළඹ නිදහස් චතුරස්‍රයට ආවොත් විෂාදය ගැන බොහෝ දේවල් දැනගන්න වගේම සංවාද මණ්ඩප, නාට්‍ය ආදියට සම්බන්ධ වෙන්නත් පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයත් අප්‍රේල් 7 වෙනිදා ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාළාවක් පවත්වන බව දැනගන්න තියෙනවා. 

ඇත්තටම විෂාදය කියන්නෙ මොකක්ද? 

සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසැරිය වෙබ් අඩවියට අනුව විෂාදයේ රෝග ලක්ෂණ මෙහෙමයි. 

  • කලකිරුණු ස්වභාව, විනෝදජනක ක්‍රියා වලින් බැහැර වීම (වෙනදා සිතට සතුටක් ඇති කල ක්‍රියා තවදුරටත් සතුටක් ගෙන නොදීම.)
  • අසාමාන්‍ය ලෙස දුක්බර සිතුවිලි හටගැනීම, නිතර කඳුළුබර වීම.
  • තමාව අවතක්සේරු කර ගැනීම, තමාගෙන් වැඩක් නැතැයි සිතීම, අතීතියේ සිදු වූ සුළු වැරදි වලට පවා දැඩිසේ දුක්වීම.
  • උද්යෝගය හා ශරීර ශක්තිය අඩුබවක් දැනීම. ( වෙනදා කල සුළු ක්‍රියාවන් අසීරු ලෙස දැනීම.)
  • අවධානය අඩුවීම, කියවීම හෝ වැඩෙහි යෙදීම අසීරු වීම.
  • නින්ද පිළිබඳ ප්‍රශ්න.
          - නින්දට යාම අපහසු වීම, දිගු වේලාවක් ඇඳේ සිටියත් නින්ද නොයාම.
          - උදේ පාන්දර අවධි වීම හා නැවත නින්ද නොයාම.
          - සමහර විට නිදාගැනීම වැඩිවීම.
  • නිතරම මහන්සි දැනීම.
  • ආදරය පෙන්වීම අපහසු වීම, අඩු සැමි සබඳතා දුර්වල වීම නිසා විවිධ ප්‍රශ්න පැන නැගීම.
  • කෑම අප්‍රිය වීම, සිරුර කෙට්ටු වීම (සමහර විට අනවශ්‍ය ලෙස ආහාර ගෙන තරබාරු වීම ද දැකිය හැක.)
  • නොසන්සුන්ගතිය. තරහයාම.
  • කායික රෝග ලක්ෂණ - හිසේ කැක්කුම, පපුව ගැහීම, පවුවේ වේදනාව, ඇඟ පත රුදාව.
  • පෙනුමේ සිදුවන වෙනස්වීම් - මුහුණ දුක්බර වීම, මුඛ දෙකොන යටට නැමීම, උරහිස් පහලට වැටුණු ස්වභාවය.
  • පෞද්ගලික සෞඛ්‍යය රැකගැනීමේ උනන්දුව අඩුවීම - දත් නොමැදීම, හිස නොපීරීම, පොඩිවූ ඇඳුම් ඇඳීම, රැවුල වැවී තිබීම.
  • සමාජ සම්බන්ධතා අඩුවීම - කතා කිරීම අඩු කිරීම, නිතර තනිව සිටීම, සිනහ නොවීම.
  • මරණය පිළිබඳ සිතුවිලි පහල වීම, සිය දිවි හානි කිරීමට පෙළඹීම.


මේ වගේ ලක්ෂණ කිහිපයක් තියෙනවා නං ඉතා ඉක්මනින් මනෝවෛද්‍යවරයෙක් හරි මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් හරි හමුවෙන එක තමයි හොඳම දේ. දැන් ලංකාවේ සැම රජයේ රෝහලකම වගේ මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් සේවය කරනවා. 

විෂාදය ගැන නිර්මාණය වුණ මේ වීඩියෝ දෙක බලන්නකො. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන්නෙ. තේරුම් ගන්න පහසු වෙන්න උපසිරැසි යොදල තියෙනවා.





වඩාත්ම වැදගත් දේ තමයි විෂාදය එහෙමත් නැත්නම් Depression කියන්නෙ සුව කළ හැකි රෝගයක් කියන එක. 

ඔබ විෂාදයෙන් පෙළෙනව කියල හිතෙනව නම්...
  • ඔබට සමීප කෙනෙක් එක්ක ඔබට දැනෙන හැඟීම් ගැන කතා කරන්න. 
  • හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. 
  • නිසි ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලබාගත හැකි බව මතක තබාගන්න.
  • එදිනෙදා ජීවිතයේ ඔබ සතුටින් කල දේවල් වල නිරත වන්න.
  • පවුලේ අය සහ මිතුරන් සමග සමීපව කටයුතු කරන්න.
  • දිනපතා ව්‍යායාම වල නිරත වන්න. අවම වශයෙන් දිනපතා කෙටි දුරක් ඇවිදීමට පුරුදු වන්න.
  • තමන්ගේ සාමාන්‍ය ආහාර පුරුදු සහ නිදාගැනීමේ පුරුදු අනුගමනය කරන්න.
  • ඉහත රෝග ලක්ෂණ තිබේ නම් ඔබට විෂාදය වැළඳී තිබීමට හැකි බව අවබෝධ කරගන්න. ඔබට සහය අවශ්‍ය විය හැකිය.
  • මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වන්න. ඒවා විෂාදයේ රෝග ලක්ෂණ වැඩි කරයි.
  • ඔබට සිය දිවි නසාගැනීමට සිතෙන්නේ නම් හැකි ඉක්මනින් කිසිවකුගේ සහය ඉල්ලා සිටින්න. 




මතක තබා ගන්න. විෂාදය සුව කළ හැකිය. ඔබට විෂාදයේ රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් සහය ලබාගන්න.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය දින වෙබ් පිටුවෙන් තවත් බොහෝ විස්තර ලබාගන්න පුලුවන්. මේ තියෙන්නෙ තවත් විස්තර පත්‍රිකාවක් එහෙනම් අප්‍රේල් 7 වෙනිදා උදේ නිදහස් චතුරස්‍රයේදි හමු වෙමු...

14 comments :

  1. good article indeed. better if you can do E flyer

    ReplyDelete
  2. ආයෙම ලියන ඔබට මෙන්න මල් මිටක් ! මානසික ව්‍යාධි ව්‍යසන තත්වයන් නිහඬ මාරාන්තික රෝග වගේ ! අපේ රටට ඉදිරියේ විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ දේවල් තමා. ඔබට ස්තූතියි.

    ReplyDelete
  3. ගොඩක් හොඳ ලිපියක්. මෙතන මෙහෙම දෙයකුත් තියෙනවා. සමහර
    අය කැමති නෑ එයාලට රෝගයක් තියෙනවා කියල පිලිගන්න.
    සමහරු හිතා මතාම ප්‍රතිකාර ගන්න එක මගහරිනවා.

    ReplyDelete
  4. Kanchana PriyakanthaMarch 26, 2017 at 11:32 PM

    very informative article. keep up the good work..

    ReplyDelete
  5. ඩිප්‍රෙශන් කියන්නේ occupational ill health විදියටත් ගන්න condition එකක් නිසා මේ ගැන උනන්දුයි ගොඩක්.. ඔබේ ලිපිය දැනුම් සාගරයක්. ස්තූතියි ...

    ReplyDelete
  6. There is another type of Depression called Laughing Depression
    Better if you could write on that also

    ReplyDelete
  7. Really useful article. Thanks for start sharing your knowledge again. ��

    ReplyDelete
  8. නෙලුම් යයෙන් පන්නරය ලැබූ එකට සතුටුයි ලිපිය සරලව ලියලා තියන එකත් හරිම ප්‍රයෝජනයි මොකද මේ වගේ විෂයන් ගැන ලියන අය ගොඩක් බරපතල විදිහට ලියන්නේ.

    ReplyDelete
  9. බොහොම වටිනා ලිපියක්.දිගටම ලියන්න.

    ReplyDelete
  10. කාලයටත් බොහොම වටිනා ලිපියක්.. ගොඩක් අය තනි වෙලා ඉඳගෙන විඳවනවා.. මේ ලිපිය අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  11. බොහොම සරලව පැහැදිලි කරලා තියනවා. බොහොම ස්තූතියි...

    ReplyDelete
  12. හොඳ ලිපියක්... ස්තුතියි!!! දිගටම ලියන්න. සුබ පැතුම්!!!

    ReplyDelete
  13. වටිනා ලිපියක්

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.