විකල්ප නොමැති වීමේ අර්බුදය

Tuesday, April 18, 2017
මීට ටික දවසකට පෙර කොළඹ තාප්ප පුරා අලවා තිබූ දැන්වීමක වූයේ "විකල්ප නොමැත" යන පාඨයයි. එක්තරා විෂයයකට අදාලව ටියුෂන් ගුරුවරයකු විසින් අලවා තිබූ එම දැන්වීමේ අරමුණ අදාළ විෂයය සඳහා ඇති "හොඳම පන්තිය" තමාගේ පන්තිය බව පෙන්වීම විය හැකි නමුත් "විකල්ප නොමැත" යන පාඨය කෙතරම් සාහසික එකක් දැයි ඔහු සිතන්නට නැතුවාට සැක නැත.

විකල්පය, නැතහොත් alternative යන්නෙන් අදහස් කරන්නේ පවතින කිසියම් දෙයක් හෝ පුද්ගලයෙක් වෙනුවට තෝරා ගත හැකි වෙනත් ඒ හා ආසන්න ප්‍රතිඵල ලබා දෙන දෙයකට හෝ පුද්ගලයකුට ය. කිසියම් අවශ්‍යතාවයකට විකල්ප කිහිපයක් ඇති විට අවශ්‍යතාවය ඇති පුද්ගලයාට තමාට වඩාත් ගැලපෙන හෝ තමා වඩාත් කැමති විකල්පය තෝරා ගත හැකිය. විකල්ප නොමැති අවස්ථා වල තම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා පවතින "එකම තෝරාගැනීම" සිදු කිරීමට ඔහුට හෝ ඇයට සිදු වේ.

මෙය කෙතරම් සරළ දැයි ඔබට සිතෙන්නට පුලුවන් නමුත් විකල්ප නොමැති වීම නිසා අැති වන ඒකාධිකාරය ඇතැම් විට බරපතල අර්බුදයක් දක්වා පරිනාමය වීමට වුවද හැකිය. උදාහරණයක් ලෙස ගත් කල ලංකාවට ජංගම දුරකථන පැමිණි මුල් යුගයේ ජංගම දුරකථන සේවා සපයන ලද්දේ එක් සමාගමක් පමණි. එවකට මිල දී ගත හැකි වූයේ සෙල්ටෙල් සමාගමට අයත් ඇනලොග් වර්ගයේ දුරකථන පමණි. එහි පැවති ඒකාධිකාරය හේතුවෙන් ජංගම දුරකථනයක් අවශ්‍ය ඕනෑම අයෙකුට අදාළ සමාගමේ දුරකථනයක් මිල දී ගත යුතු විය. එමෙන්ම පාරිභෝගිකයාට ඉතා විශාල සේවා ගාස්තුවක් ගෙවීමට ද සිදු විය. එහෙත් පසුකාලීනව වෙනත් දුරකථන සමාගම් වෙළඳපොලට පිවිසීමත් සමග "විකල්ප" බිහි විය. වඩාත් පහසුකම් සහිත දුරකථන අඩු මිලට ලබා ගත හැකි වූ අතර සේවා ගාස්තු ද සීඝ්‍ර ලෙස පහත වැටිනි. එයට හේතු වූයේ වඩාත් ලාබදායී විකල්පය වෙත පාරිභෝගිකයන්ට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීමයි. 

තෝරාගැනීමට ඇති අවස්ථා හෙවත් "විකල්ප" පැවතීම සලකනු ලබන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙනි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිව් වන පරිච්ඡේදයේ තමන් කැමති භාෂාවක් භාවිතා කිරීමට, කැමති ආගමක් ඇදහීමට, තම සුදුසුකම් වලට සරිලන රැකියාවක් තෝරා ගැනීමට සහ තමාට ජීවත් වීමට සුදුසු ස්ථානයක් තෝරාගැනීමට ආදී වශයෙන් තෝරාගැනීමට ඇති නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස දක්වා තිබේ. එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව කිසියම් ආබාධයකින් පෙළෙන පුද්ගලයකුට තමාට සුදුසු යැයි හැඟ‍ෙන ප්‍රතිකාර වෙත යොමු වීමට, තමා පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට ආදී වශයෙන් විකල්ප වෙත යොමු වීමට ඇති අයිතිය තහවුරු කර තිබේ.

අයිතිවාසිකම එසේ වුවද තත්‍ය ලෝකයේ "විකල්ප" පවතින ගැටලු වලට වඩා "විකල්ප" නොමැති ගැටලු සංඛ්‍යාව ඉතා විශාලය. උසස් පෙළ විෂය ධාරාවට යොමු වන ශිෂ්‍යයකුට තෝරාගැනීමට ඇති විකල්ප විෂයයන් ගණනාවක් අතරින් තමාට වඩාත් සුදුසු විෂයයක් තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ශිෂ්‍යයන් අතලොස්සකට පමණි. බහුතරයක් සිසුන්ට තමන්ගේ පාසලේ උගන්වනු ලබන විෂයයන්ට පමණක් සීමා වීමට සිදු වේ. පාසල් සිසුන්ට පුහුණු විය හැකි ක්‍රීඩා ගණනාවකින් එකක් තෝරාගැනීමට අවස්ථාව ලැබෙන්නේ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක සිසුන්ට පමණි. අනිකුත් සිසුන්ට තම පාසලේ පවතින ක්‍රීඩා වලින් එකකට, නැතහොත් පාසලේ ඇති එකම ක්‍රීඩාවට යොමු වීමට සිදු වේ. ඒ අයුරින්ම තමාට කැමති උපාධි පාඨමාලාවට ඇතුලත් වීමට, තමා වඩාත් කැමති වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසීමට හෝ තමා වඩාත් කැමති කාර්යාලයක රැකියාවක යෙදීමට අවස්ථාව හිමි වන්නන් ඉතා අල්පය.

විකල්ප නොමැති වීම නිසා සේවාව සපයන්නා සහ සේවාව ලබන්නා අතර බලය පිළිබඳ අසමතුලිතතාවයක් ගොඩ නැගෙයි. ඉහත දුරකථන උදාහරණයේ දී දුරකථන සමාගම ඇති කරගන්නා ඒකාධිකාරයට යටත් වීමට පාරිභෝගිකයාට සිදු වෙයි. තම පාසලේ සිට තමාට සුදුසු විෂය මාලාවක් හැදැරිමට හෝ සුදුසු විෂය ධාරාවක් සහිත පාසලකට ඇතුලත් වීමට අවස්ථාවක් නොමැති ශිෂ්‍යයාට පවතින විෂය ධාරාව හැදෑරීමට සිදු වේ. විකල්ප නොමැති වීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ සේවාව ලබන්නා ඒකාධිකාරයට යට වීමයි. එහිදී පාසල් සිසුවාට තමා බලාපොරොත්තු වන ඉලක්කය මගහැරී යා හැකි අතර පාරිභෝගිකයාට දුරකථන සේවා ගාස්තුව දරා ගත නොහැකි වීම නිසා එම අවශ්‍යතාවය අමතක කර දැමීමට සිදු විය හැකිය. 

තනි තනි පුරවැසියන් වශයෙන් මෙන්ම රටක් විදියට ද අපට ඇති විකල්ප අවම ය. සුදුසුකම් වලට සරිලන රැකියා නොමැත. අනිත් අතට පවතින රැකියා වලට සුදුස්සන් උසස් අධ්‍යාපන ආයතන වලින් බිහි වන්නේ ද නැත. ඒ නිසා තමන් කැමති රැකියාවක් තෝරා ගන්නවා වෙනුවට තමාව තෝරාගන්නා රැකියාවට යාමට සිදු වී තිබේ. තමාට වඩා සේවයක් කල හැකි දේශපාලනඥයන් තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන නමුත්, ඡන්දදායකයන් කියන්නේ "කොයි එකාට දුන්නත් එකයි" කියා ය. තෝරාගැනීමට තරම් සුදුසු පුද්ගලයන් දේශපාලනයේ නැතැයි සිතන නිසාම මිනස්සු ඡන්ද අයිතිය භාවිතා කරන්නේ අඩුවෙනි. නැතහොත් උදාසීනත්වයෙනි. නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා පැවසූ ආකාරයට අලුතින් ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වීමේ අඩුවක් ඇති වීමට ද විකල්ප නොමැති වීමේ අර්බුදයේ බලපෑමක් තිබිය හැකිය. 

එමෙන්ම අපි අපට විකල්ප සඳහා අයිතියක් ඇති බව දන්නේ නැත. සෞඛ්‍ය සේවාවන් වෙත යොමු වන රෝගියකුට තමාට ප්‍රතිකාර ලබා ගැනීමට ඇති සියලු විකල්පයන් පිළිබඳ දැනගැනීමට හා එයින් එකක් වෙත යොමු වීමට අයිතියක් ඇතත් එවැනි පැහැදිලි කිරීමක් කරන වෛද්‍යවරුන් ඉතා අල්පය. අනිත් අතට එවැනි පැහැදිලි කිරීමක් සිදු කරන වෛද්‍යවරයා වෙත රෝගියා දක්වන්නේ ද සැක සහිත ආකල්පයකි. බොහෝ විට එවැනි අවස්ථා වල ඔවුන් සිතන්නේ වෛද්‍යවරයාට ප්‍රතිකාරය "ෂුවර් නැත" කියා ය. ඊළඟ දවසේ ඒ වෛද්‍යවරයා වෙත යන්නේ එහෙමත් අයෙකි. 

රෝගීන්ගෙන් 95% කට වඩා ප්‍රමාණයක් යොමු වන්නේ දිවයින පුරා ඕනෑම අයෙකුට ප්‍රවේශ විය හැකි ලෙස සිහිටා ඇති බටහිර වෙදකම කරනු ලබන රජයේ රෝහල් වෙතය. එතරම් සුලබ නොවීම, නැතහොත් ප්‍රවේශ වීමේ අපහසුව හේතුවෙන් අනෙකුත් ආයුර්වේද, සාම්ප්‍රදායික නැතහොත් ආධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රම වෙත රෝගීන් යොමු වීමේ විශාල අඩුවක් පවතී. එමෙන්ම විශ්වවිද්‍යාල වලට පිවිසීමට නොහැකි වන සිසුන්ට පවතින විකල්පයක් වශයෙන් සැලකිය හැකි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වෙත පිවිසීමට බොහෝ සිසුන්ගේ ආර්ථික තත්ත්වය හේතුවෙන් නොහැකි විය හැකිය. එබැවින් විකල්ප පැවති පමණින්ම අර්බුධය සමනය වන්නේ නැත. අදාළ විකල්ප වෙත පිවිසීමට ද මිනිසුන්ට හැකියාව තිබිය යුතුය. 

මිනිසා සවි බල ගැන්වෙන්නේ ස්වාධින ලෙස තම ජීවන රටාව තෝරාගැනීමට මිනිසාට අවස්ථාව ඇති විට ය. තමා ගන්නා ආහාර, තමා ජීවත් වන ස්ථානය, තමා ආශ්‍රය කරන පුද්ගලයන්, තමා කරන වෘත්තිය, තමා අධ්‍යාපනය ලබන විෂය ක්ෂේත්‍රය, තමා අදහස ආගම සහ තමා කතා කරන භාෂාව ආදිය රිසි පරිදි තෝරාගැනීමට අවස්ථාව ඇති විට ය. ඒ සඳහා නිදහසේ තෝරාගත හැකි විකල්ප ඇති විට ය. එවැනි අවස්ථා සහිත යුගයක් යන්න කිසිදා සැබෑ නොවන සිහිනයක් විය හැකි ද?
Read more ...

නාය නොගිය ජීවිත වලට අත්වැලක් වෙමු...

Saturday, April 15, 2017
ප්‍රදීප්ගේ පිටුව බ්ලොග් අඩවිය අභූත චෝදනා වලට ලක් වෙලා ටික දවසකින් සම්පූර්ණයෙන්ම අහිමි වුණාට පස්සෙ 2015 බ්ලොග් වසන්තය වෙනුවෙන් "හිතෙන හැටි" පටන් අරන් මේ මාසෙ දෙවෙනිදට අවුරුදු දෙකක්. නැවතත් බ්ලොග් එකක් පටන්ගැනීමේ ගෞරවය හිමි වෙන්නෙ හැමදාම කියනව වගේ බ්ලොග් වසන්තට. ගිය අවුරුදු දෙකේම ලියල තියෙන්නෙ අවුරුද්දට පෝස්ට් හතර ගානෙ. මොනව කරන්නද? මේ අවුරුද්දෙ ටිකක් වැඩියෙන් ලියන්නයි අදහස.

මේ බක් මාසෙ. අලුත් අවුරුද්දක් උදා වෙලා. හැමෝම අවුරුද්දේ සතුට සමරමින් ඉන්න වෙලාව. කොළඹටත් ගමටත් අවුරුද්දේ උණුසුම එක විදියට දැනෙමින් තිබුණෙ. හරියටම අවුරුදු දවසෙ, එදාම තමයි මහ සිකුරාදත් යෙදිල තිබුණෙ, එකපාරටම දහම්පුර පැත්තෙ ගෙවල් ගණනාවක් යට කරගෙන මීතොටමුල්ලෙ කුප්‍රකට කුණු කන්ද නාය යන්න පටන්ගත්ත. මේ ලියන මොහොත වෙනකොට මළ සිරුරු 16 ක් හමු වෙලා. නිවාස 145 ක පවුල් 180 ක් විපතට පත් වෙලා. කොලොන්නාව  ටෙරන්ස් විදුහලේ 1080 දෙනෙක් නැවතිලා ඉන්නවා. තවත් නිවාස 130 ක පදිංචිකරුවන් නිවාස වලින් ඉවත් කරන්න සැලසුම් කරල. 

මේ සිද්ධ වුණේ අවුරුද්දක් ඇතුලත ශ්‍රී ලංකාවේ සිදු වුණ හතර වෙනි ආපදා තත්ත්වය. ගිය අවුරුද්දෙ මැයි මාසෙ ආපදාවන් තුනක් සිද්ධ වුණා. දෙකක් ස්වභාවික ආපදා. එකක් අනතුරක්. දවසින් දවස ස්වභාවික ආපදා සහ මිනිසා විසින් ඇතිකරන ආපදා තත්ත්වයන් වැඩි වෙමින් පවතිනවා. බ්‍රසල්ස් නගරය පදනම් කරගත් Centre for Research on the Epidemiology of Disasters කියන විදියට 1980 න් පසුව ලෝකයේ ස්වභාවික ව්‍යසන සිදු වීමේ සීඝ්‍රතාව 400 ගුණයකින් වැඩි වෙලා. මේ වගේ අවස්ථා ඇති වෙන එක හැකි තරම් වලක්වා ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. නමුත් ආපදාවන් සිද්ධ වෙන්නෙ කලින් කියල නෙමෙයි. එ් නිසා ඕනෑම ආපදාවකදි කවුරු හරි විපතට පත් වෙනවා.

ඒ වගේ අවස්ථා වල අපි කරන්නෙ පුලුවන් තරම් කෑම වර්ග, වතුර බෝතල්, සනීපාරක්ෂක උපකරණ වගේ දේවල් ඒ අයට ගෙනිහිං දෙන එක. අනුන්ගේ දුකේ දී හදවත් උණු වෙන ජනතාවක් විදියට අපි ඒ කරන දේ වැරදි නැහැ. හැබැයි ඒ භෞතික වශයෙන් අවශ්‍ය වෙන දේවල් ලබා දෙනව වගේම ඒ අයට අවශ්‍ය වෙන මනෝ සමාජීය සහය ලබා දෙන එකත් වැදගත් වෙනවා. මොකද අවතැන් වෙලා ඉන්න හැම කෙනෙක්ටම කාවහරි, එහෙමත් නැත්නම් මොනව හරි අහිමි වෙලා. සමහරවිට කෙනෙකුට කන්න බොන්න නැතත් කමක් නෑ මගෙ දුක කියන්න කෙනෙක් ඉන්නවනං කියල හිතෙන්න පුලුවන්. ඒ වගේ අයට උදව් කරන්න වෙන්නෙත් අපි අපිටම තමයි. ඒ නිසා මේ පුංචි උත්සාහය හෙට අනිද්ද විපතට පත් වුණ අය බලන්න යන අයට මේ විශාල අවශ්‍යතාවය ඉටු කරන්න පොඩි දැනුමක් ලබා දෙන්න. ඒකට අපි කියන්නෙ "මනෝ සමාජීය ප්‍රථමාධාර" කියල.  මේ ප්‍රථමාධාරය කරන්න විශේෂ ප්‍රථමාධාර පුහුණුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. කරන්න තියෙන්නෙ අපි එදිනෙදා ඔය වගේ ආපදාවකදි කරන දේවල් ටිකක් පිළිවෙලට කරන එක විතරයි.


01. සූදානම් වන්න
ආපදාව සිදු වෙලා තියෙන තැනට යන්න කලින් සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද? ඒකේ බලපෑමට ලක් වෙලා ඉන්න අය කව්ද? දැනට සපයන සේවාවන් මොනවද? වගේ වැදගත් කරුණු ගැන හොඳ අවබෝධයක් ඇතිව යන එක බොහොම වැදගත්. වැදගත්ම දේ තමයි ආරක්ෂාව. තවමත් ආපදා තත්ත්වය සිදු වෙමින් පවතිනවනම් ඒ සඳහා ගත යුතු ආරක්ෂක පියවර ගැන දැනුවත් වෙන එකත් අත්‍යවශ්‍ය කාරණයක්. මොකද එතැනදි ඔබව අනතුරට ලක් වුණොත් එය ඔබටත්, අනිකුත් සහන කණ්ඩායම් වලටත් අනවශ්‍ය කරදර ඇති කිරීමක් වෙනවා. ඒ වගේම ඔබට ඒ වටපිටාවට ඇතුල් වෙන්න අවශ්‍ය අවසර තියෙනවද කියල දැනගන්න එකත් ඉතාම වැදගත් වෙනවා. 

02. නිරීක්ෂණය කරන්න 
ඔබ එතැනට ගියාට පස්සෙ ඔබ ඉන්න තැන ආරක්ෂිතදැයි බලන්න. ඊට පස්සෙ හදිසි සහය අවශ්‍ය අය ඉන්නවද කියල හොයල බලන්න. 

  • හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු දරුණු තුවාල සහිත පුද්ගලයන්, 
  • තමාව හරි තමන්ගේ දරුවන් හරි රැක බලා ගන්න බැරි තරමේ ව්‍යාකූල තත්ත්වයේ ඉන්න පුද්ගලයන්,
  • තමන්ටම හානි කර ගැනීමට ඉඩ තියෙන පුද්ගලයින් සහ 
  • අනිත් අයට හානි කිරීමට ඉඩ තියෙන පුද්ගලයින් 
තමයි හදිසි සහය අවශ්‍ය අය කියල කියන්නෙ. මේ අයට උදව් කරන්න ඔබට වඩා වැඩි දැනුමක් තියෙන අය අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ නිසා නිසි වෛද්‍ය කණ්ඩායම් වෙත මේ අය හැකි ඉක්මනින් යොමු කරන එක වැදගත්.

03. අසන්න
සහය අවශ්‍ය විය හැකි අය වෙත ළඟා වෙන්න. එයාලගෙ අවශ්‍යතා ගැන විමසන්න. එයාලගෙන් බලෙන් අහන්න යන්න එපා. කැමතිනම් විතරක් කතා කරන්න අවස්ථාව ඇති බව පැහැදිලි කරල දෙන්න. කතා කරන්න කලින් ඔබව හඳුන්වා දෙන්න. හැකිතාක් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න. ඔබ කලබල වීමෙන් විපතට පත් වූ පුද්ගලයා තවත් කලබලයට පත් විය හැකියි. ඒ නිසා සන්සුන්ව සිටින්න. ඔහු හෝ ඇය ආරක්ෂිතනම් පමණක් ඒ බව ඔවුන්ට මතක් කර දෙන්න. ඔහු හෝ ඇය තනි වී නැති බව දැනෙන්නට ඉඩ හරින්න.

04. සම්බන්ධ කරන්න
ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය සේවාවන් වෙත ඔවුන් යොමු කරන්න. ගැටලු කළමණාකරනය කරගැනීමට ඔවුන්ට සහය වන්න. නිවැරදි තොරතුරු පමණක් ලබා දෙන්න. 

මේ සරළ පියවර හතර අනුගමනය කිරීමෙන් පමණක් විපතට පත් වූවන්ට අවශ්‍ය මනෝ සමාජීය සහය ඔබට ලබා දිය හැකියි. ඒ සෑම විටම අදාළ පුද්ගලයාගේ ආරක්ෂාව, ආත්මාභිමානය සහ අයිතිවාසිකම් වලට ගරු කිරීමත්, අදාළ ආපදා අවස්ථාවේ සපයන වෙනත් සේවාවන් පිළිබඳ දැනුවත්ව සිටීමත්, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වීමත් මනෝ සමාජීය ප්‍රථමාධාර ලබා දීමේදී අත්‍යවශ්‍ය වෙනවා. 

2016 වසරේ ‍ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව විදියට යොදාගත්තෙත් මනෝ සමාජීය ප්‍රථමාධාර. ඒ තරම්ම මේ දැනුම අපිට වැදගත්. IASC (2007) ට අනුව අවම වශයෙන් පුද්ගලයන් සිය දෙනෙකුගෙන් එක්කෙනෙක් මනෝ සමාජීය ප්‍රථමාධාර ගැන දැනුවත්ව සිටිය යුතු වෙනවා. මාත් ඇතුලුව දැනට ලංකාවේ පුහුණුව ලැබූ මනෝ සමාජීය ප්‍රථමාධාරකරුවන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධිතවත්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධිතවත්, වෙනත් රාජ්‍ය සහ ස්වේච්ඡා සංවිධාන වලට සම්බන්ධ වෙලත් ඉන්නවා. සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන ක්ෂේත්‍ර ක්‍රියාකාරීන් සඳහා වන උපදෙස් මාලාව මෙතනින් බාගත කරගන්න පුලුවන්. කාට හරි හිතෙනවනං මේ ගැන විධිමත් පුහුණුවක් ලබාගත්තොත් හොඳයි කියල අපිට පුලුවන් උදව් කරන්න. තවත් තොරතුරු මේ වෙබ් අඩවියෙන් ලබාගන්නත් පුලුවන් 

හෙට ඉඳල මීතොටමුල්ලෙ අවතැන් වුණ අයට උදව් කරන්න යනකොට මේ පියවර හතර ගැනත් අවධානය යොමු කරන්න. උදා වූ නව වසර මේ වගේ ආපදාවන් වලින් තොර වසරක් වේවා....!

Read more ...

Depression ද? අපි කතා කරමු...

Sunday, March 26, 2017
ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල බොහොම උත්කර්ෂවත් විදියට පැවැත්වුණා. පොදු කතාබහේදිත්, පෞද්ගලිකව මටත් ඒ ගැන එක එක විදියෙ විවේචන තිබුණත් කිසියම් නිර්මාණයක් ඇගයීමට ලක් කරන එක බොහොම වටිනා දෙයක්. ඉතින් සම්මානයට පාත්‍ර වුණ හැම සහෝදර බ්ලොග්කරුවෙක්ටම හෘදයාංගම සුබපැතුම් එක්කරන්න කැමතියි. ඒ වගේම අඩුපාඩු ගල්මුල් මැදින් බ්ලොග්කරුවන්ට එක්කාසු වෙන්න අවස්ථාවක් හදල දීපු, බ්ලොග්කරුවන් සම්මානයට පත් කළ සංවිධායක මණ්ඩලයටත්, නෙළුම් යාය කණ්ඩායමටත් ස්තුතියි. 

ඊයෙ හම්බු වෙලා කතා කරපු ගොඩක් අය දැන් ලියන්නෙ නැද්ද කියල අහද්දි ආපු ලැජ්ජාව හින්දත්, පරණ බ්ලොග් එක අහිමි වුණාට පස්සෙ මේ බ්ලොග් එක පටන් ගන්න එක හේතුවක් වුණ බ්ලොග් වසන්ත කියන හාදය මේ අවුරුද්දෙත් අලුත් අවුරුද්දට එන බව කියන හින්දත් ඔන්න ආයෙත් ලියන්න පටන්ගත්ත.

විෂාදය, එහෙම නැත්නම් Depression කියන්නෙ හැමෝම අහල පුරුදු වචනයක්. ඒ විතරක් නෙමෙයි Depression කියන්නෙ බොහොම සුලබ රෝගයක්. ලෝකයේ සෑම කාන්තාවන් හතර දෙනෙක්ගෙන්ම කෙනෙක්, ඒ වගේම සෑම පුරුෂයින් දස දෙනෙක්ගෙන් කෙනෙක් තමන්ගෙ ජීවිත කාලය තුල මේ රෝගය අත්විඳින බව හොයාගෙන තියෙනවා.  හැබැයි ගොඩක් වෙලාවට විෂාදයේ ලක්ෂණ තමන් ගිලගනිමින් ඉන්න අයවත් තමන්ට හැදිල තියෙන්නෙ විෂාදය කියල අවබෝධ කරගන්නෙ නෑ. ඒ නිසාම විෂාදය හැදෙන අයගෙන් 30% ක් විතරයි ප්‍රතිකාර අරගන්න යොමු වෙන්නෙ. ඉතුරු අයගෙන් 15% ක් විතර සිය දිවි නසාගන්නවා. ඒ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය විෂාදය රෝගය "ලෝකයේ මහජන සෞඛ්‍ය ගැටලුවක් - A Global Public Health Concern" වශයෙන් නම් කරල තියෙනවා. 

හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ 7 වෙනිදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයේ මේ වසරේ තේමාව විදියට, මම මේ ලිපියේ මාතෘකාව විදියට යොදාගෙන තියෙන Depression - Let's Talk කියන තේමාව නම් කරල තියෙන්නෙත් මේ සුලබ සෞඛ්‍ය ගැටලුව ගැන ජනතාවගේ දැනුවත් භාවය වැඩි කරන්න. ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය  සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය එක්ක මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් මාළාවක් පවත්වන්න කටයුතු යොදල තියෙනවා. අප්‍රේල් මාසෙ 7 වෙනිදා උදේ කොළඹ නිදහස් චතුරස්‍රයට ආවොත් විෂාදය ගැන බොහෝ දේවල් දැනගන්න වගේම සංවාද මණ්ඩප, නාට්‍ය ආදියට සම්බන්ධ වෙන්නත් පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයත් අප්‍රේල් 7 වෙනිදා ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාළාවක් පවත්වන බව දැනගන්න තියෙනවා. 

ඇත්තටම විෂාදය කියන්නෙ මොකක්ද? 

සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසැරිය වෙබ් අඩවියට අනුව විෂාදයේ රෝග ලක්ෂණ මෙහෙමයි. 

  • කලකිරුණු ස්වභාව, විනෝදජනක ක්‍රියා වලින් බැහැර වීම (වෙනදා සිතට සතුටක් ඇති කල ක්‍රියා තවදුරටත් සතුටක් ගෙන නොදීම.)
  • අසාමාන්‍ය ලෙස දුක්බර සිතුවිලි හටගැනීම, නිතර කඳුළුබර වීම.
  • තමාව අවතක්සේරු කර ගැනීම, තමාගෙන් වැඩක් නැතැයි සිතීම, අතීතියේ සිදු වූ සුළු වැරදි වලට පවා දැඩිසේ දුක්වීම.
  • උද්යෝගය හා ශරීර ශක්තිය අඩුබවක් දැනීම. ( වෙනදා කල සුළු ක්‍රියාවන් අසීරු ලෙස දැනීම.)
  • අවධානය අඩුවීම, කියවීම හෝ වැඩෙහි යෙදීම අසීරු වීම.
  • නින්ද පිළිබඳ ප්‍රශ්න.
          - නින්දට යාම අපහසු වීම, දිගු වේලාවක් ඇඳේ සිටියත් නින්ද නොයාම.
          - උදේ පාන්දර අවධි වීම හා නැවත නින්ද නොයාම.
          - සමහර විට නිදාගැනීම වැඩිවීම.
  • නිතරම මහන්සි දැනීම.
  • ආදරය පෙන්වීම අපහසු වීම, අඩු සැමි සබඳතා දුර්වල වීම නිසා විවිධ ප්‍රශ්න පැන නැගීම.
  • කෑම අප්‍රිය වීම, සිරුර කෙට්ටු වීම (සමහර විට අනවශ්‍ය ලෙස ආහාර ගෙන තරබාරු වීම ද දැකිය හැක.)
  • නොසන්සුන්ගතිය. තරහයාම.
  • කායික රෝග ලක්ෂණ - හිසේ කැක්කුම, පපුව ගැහීම, පවුවේ වේදනාව, ඇඟ පත රුදාව.
  • පෙනුමේ සිදුවන වෙනස්වීම් - මුහුණ දුක්බර වීම, මුඛ දෙකොන යටට නැමීම, උරහිස් පහලට වැටුණු ස්වභාවය.
  • පෞද්ගලික සෞඛ්‍යය රැකගැනීමේ උනන්දුව අඩුවීම - දත් නොමැදීම, හිස නොපීරීම, පොඩිවූ ඇඳුම් ඇඳීම, රැවුල වැවී තිබීම.
  • සමාජ සම්බන්ධතා අඩුවීම - කතා කිරීම අඩු කිරීම, නිතර තනිව සිටීම, සිනහ නොවීම.
  • මරණය පිළිබඳ සිතුවිලි පහල වීම, සිය දිවි හානි කිරීමට පෙළඹීම.


මේ වගේ ලක්ෂණ කිහිපයක් තියෙනවා නං ඉතා ඉක්මනින් මනෝවෛද්‍යවරයෙක් හරි මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් හරි හමුවෙන එක තමයි හොඳම දේ. දැන් ලංකාවේ සැම රජයේ රෝහලකම වගේ මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් සේවය කරනවා. 

විෂාදය ගැන නිර්මාණය වුණ මේ වීඩියෝ දෙක බලන්නකො. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන්නෙ. තේරුම් ගන්න පහසු වෙන්න උපසිරැසි යොදල තියෙනවා.





වඩාත්ම වැදගත් දේ තමයි විෂාදය එහෙමත් නැත්නම් Depression කියන්නෙ සුව කළ හැකි රෝගයක් කියන එක. 

ඔබ විෂාදයෙන් පෙළෙනව කියල හිතෙනව නම්...
  • ඔබට සමීප කෙනෙක් එක්ක ඔබට දැනෙන හැඟීම් ගැන කතා කරන්න. 
  • හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. 
  • නිසි ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලබාගත හැකි බව මතක තබාගන්න.
  • එදිනෙදා ජීවිතයේ ඔබ සතුටින් කල දේවල් වල නිරත වන්න.
  • පවුලේ අය සහ මිතුරන් සමග සමීපව කටයුතු කරන්න.
  • දිනපතා ව්‍යායාම වල නිරත වන්න. අවම වශයෙන් දිනපතා කෙටි දුරක් ඇවිදීමට පුරුදු වන්න.
  • තමන්ගේ සාමාන්‍ය ආහාර පුරුදු සහ නිදාගැනීමේ පුරුදු අනුගමනය කරන්න.
  • ඉහත රෝග ලක්ෂණ තිබේ නම් ඔබට විෂාදය වැළඳී තිබීමට හැකි බව අවබෝධ කරගන්න. ඔබට සහය අවශ්‍ය විය හැකිය.
  • මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වන්න. ඒවා විෂාදයේ රෝග ලක්ෂණ වැඩි කරයි.
  • ඔබට සිය දිවි නසාගැනීමට සිතෙන්නේ නම් හැකි ඉක්මනින් කිසිවකුගේ සහය ඉල්ලා සිටින්න. 




මතක තබා ගන්න. විෂාදය සුව කළ හැකිය. ඔබට විෂාදයේ රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් සහය ලබාගන්න.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය දින වෙබ් පිටුවෙන් තවත් බොහෝ විස්තර ලබාගන්න පුලුවන්. මේ තියෙන්නෙ තවත් විස්තර පත්‍රිකාවක් එහෙනම් අප්‍රේල් 7 වෙනිදා උදේ නිදහස් චතුරස්‍රයේදි හමු වෙමු...
Read more ...

වෙනස ඔබ ම වන්න.... (Be the Change)

Wednesday, September 28, 2016
"වෙනස" බොහෝ දෙනා ගේ මුවග නිතර රැව් දෙන වචනයකි. "ක්‍රමය" වෙනස් විය යුතු යැයි ඇතැමෙක් තර්ක කරති. "වෙනස" සැප දැයි අසන්නෝ ද බොහෝ ය. "වෙනස්"  දෙයක් කරන්නට තනන යෞවනයෝ ද විටින් විට හමු වෙති. ඒ සියල්ලෝම වෙනස අපේක්ෂා කරන්නේ අන් අයගෙනි. නැතහොත් අන් දෙයකිනි. සෑම වෙනසක් අවසානයේ ම "වෙනස සැපද" යැයි අසන්නට වන්නේ ඒ නිසා ය. 


ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කාර්යාලය, "වෙනස" ගැන අප සිතන ආකාරය "වෙනස්" කරන්නට පසුගිය දා අපට යෝජනා කළේ ය. ඒ Be the Change වැඩසටහන හරහා සැප්තැම්බර් 6,7 සහ 8 යන දින වල කොළඹ දී වැඩසටහන් ගණනාවක් ඔස්සේ නිරෝගී සහ ක්‍රියාශීලී ජීවන රටාවක් කරා "වෙනස්" වන ලෙස ජනතාවට ආරාධනා කරමිනි. 

අග්නි දිග ආසියානු රටවල ජීවත් වන සෑම යෞවනයන් පස් දෙනෙකුගෙන් ම හතර දෙනෙක් කායිකව ක්‍රියාශීලී නොමැති බව සොයාගෙන තිබේ. මේ හේතුවෙන් බෝ නොවන රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය තවදුරටත් වැඩි වීම බරපතල සෞඛ්‍ය ගැටලුවකි. එබැවින් සේවා ස්ථාන, පාසල් යන ස්ථාන වල වැඩ ඵලදායීතාව නැංවීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ කාර්යමණ්ඩල සාමාජිකයන් ගේ යහපැවැත්ම නැංවීම සඳහා බෝ නොවන රෝග වැලැක්වීමේ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම "Be the Change - වෙනස ඔබ ම වන්න" වැඩසටහන මගින් අපේක්ෂා කරයි. 

ඒ යටතේ වෙනස බවට පත් වන පුද්ගලයා අංග 6 ක් පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.
01. ඔබේ ආහාර ගැන සැලකිළිමත් වන්න. (Watch your plate)
මෙහි දී සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම අධෛර්යමත් කිරීම සහ අඩු කැලරි පරිභෝජනය දිරිමත් කිරීම අපේක්ෂා කරයි.
 ආයතන වල හරිත ආහාර - අලුත් එළවලු සහ පලතුරු - මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සැළසීම සහ රස කළ බීම වර්ග වෙනුවට පිරිසිදු ජලය පරිභෝජනයට හුරු කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම අපේක්ෂාවයි. 


02. ඔබේ බර සහ ඉනේ ප්‍රමාණය ගැන සැළකිලිමත් වන්න. (Watch your weight and waist) 
නිරන්තරයෙන් පුද්ගලයින් තම බර සහ ඉනේ ප්‍රමාණය පිළිබඳ සැළකිලිමත් වීම මෙමගින් අපේක්ෂා කෙරේ. 
ආයතන වල බර කිරීමේ බිම් තරාදි සහ වට ප්‍රමාණය මැනීම සඳහා ටේප් පටි පුද්ගලයන් ගැවසෙන ස්ථාන වල තැබීම මගින් ඒ සඳහා පහසුකම් සැපයීම බලාපොරොත්තු වේ.

03. ඔබේ පියවර ගැන සැළකිලිමත් වන්න. (Watch your steps)
හැකි සෑම අවස්ථාවකදී ම සෝපාන වෙනුවට පඩි පෙළ භාවිතා කිරීම, කායවර්ධන මධ්‍යස්ථාන සහ ටෙනිස් පිටිය වැනි ස්ථාන වැඩි වැඩියෙන් භාවිතා කිරීම, තම ක්‍රියාශීලී මට්ටම පිළිබඳ මාසිකව ස්වයං ඇගයීමක නිරත වීම වැනි දේ මෙමගින් අපේක්ෂා කරයි.

04. ඔබේ ආතති මට්ටම ගැන සැළකිලිමත් වන්න. (Watch your stress level)
තමන් ගේ ආතති මට්ටම පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම මෙමගින් අපේක්ෂා කරයි. යෝගා සහ වෙනත් ආතති කළමණාකරන ක්‍රම භාවිතා කිරීම මගින් ආතති මට්ටම අවමයක පවත්වා ගැනීමට කාර්යමණ්ඩල හුරු කිරීම මෙහි අරමුණයි.

05. ඔබේ වෙනස ගැන සැළකිලිමත් වන්න. (Watch your change)
සෑම මාස 6 කට ම වරක් රුධිරගත සීනි මට්ටම, රුධිර කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර පීඩනය මැන ගැනීම මගින් බෝ නොවන රෝග වල අවදානමක් තිබේ දැයි දැනගැනීම මෙමගින් අපේක්ෂා කරයි.



06. ඔබේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය ගැන සැළකිලිමත් වන්න. (Watch your tobacco and alcohol consumption)

සියලු සෞඛ්‍ය ආයතන දුම්බීමෙන් නිදහස් කළාප බවට පත් කර ඇත. ඔබේ ආයතන පරිශ්‍රයත් දුම්බීමෙන් නිදහස් පරිශ්‍රයක් කරගන්න. මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා සහය ලබාගන්න. 

මේ අංග 6 පිළිබඳ නිරතුරුව අවධානයෙන් සිටීමත්, මේ අංග සක්‍රිය ව ක්‍රියාත්මක කිරීමත් මගින් "වෙනස" අත් විඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ජනතාවට ආරාධනා කරයි. විශේෂයෙන්ම සෞඛ්‍යවත් නිරෝගී සහ ක්‍රියාශීලී ජීවිතයක් අපේක්ෂා කරන්නේ නම් "වෙනස ඔබ ම වන්න - Be the change". එවිට වෙනස අත්විඳිය හැකි වනු ඇත.

මේ පිළිබඳ වැඩිදුර විස්තර thamarangsit@who.int ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කාර්යාලයේ බෝ නොවන රෝග සහ පාරිසරිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකිය.
Read more ...

මල් සිටුවීම තහනම් කිරීම...

Sunday, August 21, 2016

ටිකක් දිග පෝස්ට් එකක් නිසා කොටස් දෙකකට කඩලා ලියන්න හිතුවෙ. ඒත් පළවෙනි කොටස විතරක් දාපුවාම මේක මොන විකාරයක් ද කියල කීප දෙනෙකුටම හිතිල තිබුණා. ඒ නිසා ඒක අයින් කරල මුළු පෝස්ට් එකම එකපාර දැම්මා.

ඔන්න බොහොම කාලයකට ඉස්සර එක්තරා රටක හිටපු පාලකයො ඒ රටේ කිසිම තැනක "මල් ඇට" හිටවන එක තහනම් කළා. මල් ඇට කියන්නෙ කිසිම කමකට නැති ජාතියක් ය, මල් පිපුණට ඒවා ආහාර නිෂ්පාදනය කරන්නෙ නැත,  ඒවා අනිත් "ඵලදායී" ගස් වලට තියෙන පෝෂණය පරිභෝජනය කරන නිසා ඵලදායී ගස් වල පෝෂණය අඩු  වෙනවා ය ආදී වශයෙන් ඒ තීරණය සාධාරණීකරණය කරන්න විවිධ අදහස් ජනමාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. මල් ඇට වලට වත්, මල් ගස් වලට වත් ඒ තීරණයට විරුද්ධව කතා කරන්න තරං හයියක් තිබුණෙ නෑ. කොටින්ම කිව්වොත් හදල තිබුණ ප්‍රතිරූපය නිසා මල් ගස් වුනත් තමන් කමකට නැති කොටසක් කියල හිතන්න පටන් අරං තිබුණා.

සමාජයට වුනෙත් ඒ ටිකමයි. ටිකෙන් ටික මල් ගස් සමාජයෙන් කොන් කරන්න පටන් ගත්තා. මල් ඇට "වෙනස් කොට සැළකීමට" භාජනය වෙන්න පටන් ගත්තා. මල් ගහක් දැකපු ගමන් කපල දාන්න ගොවි මහත්තුරු දෙපාරක් හිතුවෙ නෑ. කලාතුරකින් ඵලදායී තැනක වැටුණු මල් ඇටයක් ඇරෙන්න අනිත් මල් ඇට පැළ නොවී අකාලයේ විනාශ වෙලා යන්න පටන් ගත්තා. ටික ටික පරිසරයේ මල් ගස් හිඟ වුනා. ටික ටික මල් ගස් තහනම සමාජ සම්මතයක් බවට පත් වෙනකොට මල් ගහක් තිබුණ ගෙවල් පවා කොන් කිරීමට භාජනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා ආසාවෙන් මල් වවපු ගෑණු ළමයි මල් වවන එක නවත්තල දැම්මා. අවුරුදු ගානක් යනකොට මල් වැවීම පවක් කියල ළමයින්ට කියල දෙන සංස්කෘතියක් ඇති වුණා. වත්තක මල් ගහක් හැදුනොත් ඒක ඒ පවුලෙ අයගෙ පාපයක් විදියට හඳුන්වන්න ගත්තා. මල් ගහ තියෙන ගෙදර කිව්වාම මිනිස්සු පිළිකුලෙන් බලන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.

ඔන්න ඔහොම කාලයක් ගත වෙලා මල් ඇට හිටවන එක තහනම් කරපු පනත දැකලවත් නැති හතර වෙනි පරම්පරාවෙ කීප දෙනෙක් මල් ඇට සහ මල් පැළ වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන මේ කොන් කිරීම අසාධාරණ බව තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ එක්කම මල් ඇට වල අයිතිවාසිකම් උල්ලංඝනය වෙනව ය, ඒ අයටත් අනිත් ගස් හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය, කියල තව තව තැන් වලින් පොඩි පොඩි අදහස් මතු වුණා. මල් ඇට තහනම් කරපු නීතියට වඩා සමාජ සම්මතයක් විදියට ගොඩනැගුණු මල් ගස් කොන් කිරීමේ සංකල්පයේ ම එළඹිලා හිටපු වැඩිහිටියෝ ඒ කීප දෙනාගෙ අදහස් එතනම විනාශ කරල දැම්මා. ඔය විදියට කාලයක් ගත වුණත් මල් ඇට වලට නිසි තැන කවදාවත්ම ලැබුණෙ නෑ.

තවත් කාලයක් ගිහිල්ලා මල් ඇට විනාශ වෙන හැටි බලාගෙන ඉන්න බැරි කට්ටිය කීප දෙනෙක් එකතු වෙලා තැන් තැන් වල මල් ඇට තවාන් කරලා ආරක්ෂා කරන්න පටන් ගත්තා. ගොඩක් පරණ නීතිය ඒ වෙනකොට ක්‍රියාත්මක නොවුනට නීතිය විසින් ඇති කරපු සමාජ අපවාදය නිසා මේ මල් තවාන් කරන අය පව්කාරයො විදියටයි සමාජය දැක්කෙ. හැබැයි එයාලට උදව් කරන අයත් කීප දෙනෙක් නොහිටියා නෙමෙයි. ඒ උදව් කරපු කට්ටිය තමන්ට පුළුවන් විදියට මල් ගස් කියන්නෙත් අනිත් ගස් වරග වගේම ජාතියක් ය, එ්ව විතරක් කොන් කරන එක වැරදි ය කියන මතය සමාජගත කරන්න උත්සාහ කළා. මුලින්ම පත්තර වලට ලිව්වා. ඊට පස්සෙ පා ගමන් ගියා. එක එක විදියේ වැඩසටහන් වලින් මල් ඇට වලට "සමාන අවස්ථා" ලබා දෙන්න කියල ඉල්ලීම් කරන්න ගත්තා.


ටිකෙන් ටික මේ ඉල්ලීම් වැඩි වෙනකොට රජය මල් ඇට තහනම ඉවත් කළා. දැන් කැමති කෙනෙකුට මල් ඇට හිටවන්න තහනමක් නෑ. මල් ගස් ගැන කතා කරපු බොහෝ අයට මේක ලොකු අස්වැසිල්ලක් වුණා. ඒ නිසා එයාල තවදුරටත් සටන් කරන එක නවත්තල දැම්මා. දැන් නීතියෙන් තහනමක් නැති නිසා මිනිස්සු ඕන තරම් මල් ගස් හිටවන්න ඇති නේද? එහෙම වුනේ නෑ. නීතිය ඉවත් කළාට සමාජයේ මල් වලට එරෙහි කොන් කිරීම තවදුරටත් ඒ විදියට ම තිබුණා. ගෙදරක මල් ගහක් පැළ වෙන එක පවක් කියල තවමත් මිනිස්සු විශ්වාස කළා. කවුරු හරි මල් ඇට වගා කරනවා නං ඒ පව්කාරයෙක්, සමාජ විරෝධියෙක්, කමකට නැති එකෙක් කියල මිනිස්සු කතා වුනා. 

ඊට පස්සෙ මල් ඇට වෙනුවෙන් ක්‍රියා කරන සංවිධාන උසාවි ගියා මල් ඇට වල “අයිතිවාසිකම්” වෙනුවෙන් කතා කරන්න. උසාවිය මල් ඇට සහ මල් ගස් කොන් කිරීම තහනම් කළා. කවුරු හරි මල් ගස් වලට අපහාස කළොත් ඒක වරදක් කියල උසාවිය තීරණය කළා. දැන් කවුරුත් ප්‍රසිද්ධියෙ මල් ගස් වලට අපහාස කරන්නෙ නෑ, ලොකු නිදහසක් මල් ගස් වලටත්, මල් ගස් හිටවන අයටත් ලැබුණා. 

දැන්නං මල් ගස් වලට නිදහසේ වැවෙන්න පුළුවන්. ඔයාලට එහෙම හිතෙනවා ඇති. නමුත් අවාසනාවට එහෙම වුනේ නෑ. මොකද ගොඩක් මල් ගස් වලට අනිත් ඕන තැනක වැවෙන ගස් වලට තරම් දරා ගැනීමේ හැකියාවක් නෑ. එයාලට වැවෙන්න නම් ඒකට සුදුසු පරිසරයක් තියෙන්න ඕන. මල් ගස් වලට වැවෙන්න නිදහසට වඩා යමක් අවශ්‍යයි. ඒ තමයි වැවෙන්න අවශ්‍ය “පරිසරයක්” සහ “පහසුකම්”. ඒවා නැතුව වැවෙන්න පුළුවන් මල් ගස් විතරක් බොහොම අමාරුවෙන් වැවෙන්න පටන් ගත්තා. ඒ තරම් ශක්තියක් නැති මල් ගස් වලට පරණ නීතිය අයින් කිරීමෙන් වත්, අලුත් නීති පැනවීමෙන් වත් ඒ තරම් යහපතක් වුනේ නෑ. අවාසනාවන්තම කාරණය තමයි මෙච්චර කල් මල් ගස් වෙනුවෙන් පෙනී හිටපු අය දැන් මල් ගස් වල අවශ්‍යතා සම්පූරණයි කියල නිහඬ වුන එක. දැන් මල් ගස් වෙනුවෙන් කතා කරන්න වත් හිටියෙ බොහොම ටික දෙනයි.
ඒ ටික දෙනා රජයට මෙන්න මේ වගේ යෝජනාවක් කළා. ඒ තමයි මල් ගස් ආරක්ෂා කරන්න අවශ්‍ය නීති හදල දෙන්න කියන එක. මල් ගස් වලට වැවෙන්න අනිත් ගස් වලට ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක් ලැබිය යුතුයි කියල මල් ක්‍රියාකාරීන් රජයට යෝජනා කළා. 

හැබැයි මල් ගස් වලට විශේෂ පහසුකම් දෙනවට අනිත් ගස් කැමති වුනේ නෑ. ඒ වුණාට විරෝධතා මැදින් බොහොම වෙහෙස මහන්සි වෙලා ඒ නීතියත් සම්මත කර ගත්තට පස්සෙ තමයි මල් ගස් වලට නිදහසේ වැවෙන්න අවස්ථාව ලැබුනෙ. දැන් මල් වලට වැවෙන්න අවශ්‍ය පොහොර, වතුර ටික සපයන්න සමාජය නීතියෙන්ම බැඳිලා ඉන්නවා. ඒ නිසා දවසින් දවස වටපිටාවෙ මල් ගස් වැඩි වෙමින් යනවා. පරිසරය ටික ටික ලස්සන වෙනවා. ඔන්න ඔහොමයි අපේ වටපිටාව මල් ගස් වලින් පිරිල තියෙන්නෙ. පොඩ්ඩක් ජනේලෙන් ඔලුව එළියට දාලා බලන්න මල් ගස් කීයක් නං තියෙනවද කියල.

කිසිම තේරුමක් නැති කතාවක් නේද? හැබැයි මේ කතාවෙම “මල් ගස්” වෙනුවට “ආබාධ සහිත අය” කියන වචනය ආදේශ කරල බලන්න. නැත්නම් සමාජයේ කොන් කිරීමට, වෙනස් කොට සැලකීමට භාජනය වෙන පුද්ගල කණ්ඩායමක් ආදේශ කරල බලන්න. සමහර විට තේරුමක් තියෙයි. මං මේ කතා කරන්නෙ ආබාධ සහිත අය ගැන. විවිධ නීති, අන පනත්, උසාවි නියෝග පහු කරලා අද වෙනකොට ආබාධ සහිත පුද්ගලයන්ට “සමාජගත වීම” සඳහා “ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක්” ලැබිය යුතුයි කියල ලෝකයේ බොහෝ රට වල් පිළි ගනිමින් ඉන්නවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අවශ්‍ය අන පනත් සකස් කරමින් යනවා. එහි එක ප්‍රධාන පියවරක් තමයි 2006 අවුරුද්දෙ සකස් කරපු “ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය”. අවුරුදු 10 කට පස්සෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ ශ්‍රී ලංකාව මේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්න එකඟ වෙනවා. 

මේ ප්‍රඥප්තිය අලුත් අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නෑ. නමුත් 1945 එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය මගින් සම්මත කරල තියෙන මානව අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් ලැබීම සහතික කරන නව යෝජනා එහි ඇතුලත් කරල තියෙනවා. ආබාධ ඇති නැති හැමෝටම එකම අයිතිවාසිකම් හිමි විය යුතු බවත්, ඒ අයිතිවාසිකම් ලැබීමේ දී ආබාධ සහිත පුද්ගලයන්ට “ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක්” ලැබිය යුතු අවස්ථා වල දී ඒවා ලබා දීමට රජය සහ ප්‍රජාව කටයුතු කළ යුතු බවත් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පෙන්වා දෙනවා.

රටක් විදියට අපිට ආබාධ සහිත පුද්ගලයන්ට සමාජයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමට ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක් සකස් කරන්න පුළුවන් නම් ඒ අය සමාජයට බරක් වෙන එක නතර වේවි. ඒ අය තමන්ගේ විය හියදම් ටික තමන්ම සපුරාගෙන, තමන්ට පුළුවන් විදියට එදිනෙදා වැඩ කටයුතු කරගෙන ස්වාධීනව, අභිමානයෙන් යුතු ව ජීවත් වේවි. ඒ ඉලක්කය තව ගොඩක් දුරයි. හැබැයි අපි අද පටන්ගත්තොත් අපිට ටිකක් කලින් එතනට යන්න පුළුවන්. 


Read more ...

වැස්ස

Monday, March 28, 2016
කාලෙකට ඉස්සර බලපු හින්දි චිත්‍රපටයක් අවසන් වෙන්නෙ දීර්ඝ කාලයක් පැවති ඉඩෝරය නිමා කරමින් වැසි වසින අවස්ථාවෙන්. ඒ වෙලාවෙ ජනතාව එලියට බැහැලා වැස්සේ තෙමෙමින් ගීත ගයමින් විනෝද වෙනවා. වියලි කාලයට දැඩි උණුසුමක් පවතින ඉන්දියාව වගේ රටක එහෙම වුණත් සම සීතෝෂ්ණ කාලගුණයක් පවතින අපේ රටේ එහෙම වෙන එකක් නෑ කියලයි මට ඒ දවස් වල හිතුණෙ.

ඔහොම කාලය ගත වෙලා 2016 අවුරුද්ද උදාවෙනකොටම මේ අවුරුද්ද උණුසුම වැඩි වසරක් වේවි කියල කාලගුණ අනාවැකි කියන්න පටන්ගත්තා. එදා ඉඳල ඊයෙ වෙනකං කිසිම පළාතකට හරිහමං වැස්සක් ලැබුණෙ නෑ. උදේ අවදි වුණ වෙලාවෙ ඉඳල රෑ නින්දට යන වෙලාව වෙනකනුත්, ඊට පස්සෙ මුළු රෑ පුරාමත් ඉතා අධික උණුසුමක් දැනෙන්න පටන්ගත්තා. 

ජලාශ බලාගෙන ඉන්නකොට හිඳිල ගියා. වික්ටෝරියා ජලාශයට යට වුණු පැරණි තෙල්දෙණිය නගරය ආයෙත් මතුවුණා. කොත්මලේ ඇතුළු ජලාශ ගණනාවක් සම්පූර්ණයෙන්ම හිඳිල ගියා. කළු ගඟ දිගේ මුහුදු වතුර ඉහලට ගලන්න පටන්ගත්තා. ජල විදුලිය සපයන මූලාශ්‍ර හිඳුන නිසා ජල විදුලිය සීමා වුණා. රටේ අවශ්‍යතාවය සපුරන්න තාප විදුලිය සමත් වුණේ නැහැ.

බොන්න තියෙන වතුර ප්‍රමාණය දවසින් දවස අඩු වුණා. වතුර  හොයාගෙන සත්තු සරපයො ගෙවල් වලට එන්න පටන්ගත්තා. අපි එයාලව මරලා එයාලගෙ ජල අවශ්‍යතාවය තෘප්ත කරල දුන්නා. සමහර පළාත් වල වතුර ලුණු රහ වෙනකොට සුපර්මාකට් එකෙන් බෝතල් වතුර මිලදි ගන්න සිදුවුණා. 

දවසින් දවස උණුසුම වැඩි වෙනකොට පාසල් ක්‍රීඩා තරඟ කල් දමන්න රජය තීරණය කළා. ලෝකයේ සමහර රටවල පාසල් සම්පූර්ණයෙන්ම වසා දැම්මා. කුඹුරු ගොවිතැන් වගේ අව්වේ වෙහෙස වෙලා කරන වැඩ කටයුතු වලින් ඈත් වෙන්න කියල නිවේදන නිකුත් වුණා.

අන්තිමේදි ඊයෙ ඉඳල රටේ එක එක පැති වලට ටික ටික වහිනවා. මං ඉන්න පළාතෙත් මේ වෙනකොට පොද වැසි වැටෙන්න පටන් අරගෙන. සමාජ ජාල පුරාම වැස්ස නිසා සතුටට පත් වුණ අයගෙ අදහස්. අපි කවදාවත් නොහිතපු තරමට වැස්සට වටිනාකමක් ලැබිලා. උණුසුම ටිකක් විතර අඩු වෙලා. 

ආයෙත් හෙට ඉඳලා පායයි ද දන්නෙ නෑ. ඒ කොහොම වුණත් අද අපි හැමෝම ඉන්නෙ සතුටින්. පෑවිල්ල ඉවර වුණ එකේ සතුට. ආයෙත් මේ වගේ පෑවිල්ලක් එන්නෙ නැති වෙන්න අපි මොනවද කරන්න ඕන කියල හිතන්න ඕන අද වගේ දවසක කියලයි මට හිතෙන්නෙ. කාලෙකට ඉස්සර 87% ක් වූ අපේ රටේ වනගහනය මේ වෙනකොට 27% දක්වා අඩු වෙලා. අපි හැමෝටම පුළුවන්නං එක පැළයක් හිටවල රැකබලා ගන්න, ආයෙත් රටේ වනගහනය තරමක් හරි වැඩි කරන්න අපිට පුළුවන් වේවි. එතකොට මේ වගේ නියං කාලයක් ආයෙ ආවත් මේ තරම් උණුසුමක් දැනෙන එකක් නෑ, මේ තරම් හානියක් වෙන එකකුත් නෑ....


(ඡායාරූප අයිතිය - සමීර රුක්ෂාන් මෙන්ඩිස්, ලංකාදීප වෙබ් අඩවිය සහ ගූගල් දෙයියෝ)
Read more ...

හෝ ගානා පොකුණ...

Sunday, January 17, 2016
කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේ අසුනක මම වාඩි වී සිටිමි. තිරය මත සිනමා රූ අැඳෙයි. අෑත දුෂ්කර ගමකි. 98% ක් විදුලිය සපයා අැති රටේ විදුලිය පවා නොමැති ගම්මානයකි. මේ ගමේ දරුවන් කවදාවත් මුහුද දැක නැත. මුහුද බලන එක ලේසි වැඩක් ද නොවේ. බොහෝ දුර ගෙවාගෙන කොළඹ යා යුතුය. "මෙහෙම ගම් කොහෙද බං ලංකාවෙ?" මගේ මිතුරා අසයි. 

මා සිතින් කහටලියද්ද කණිෂ්ඨ විද්‍යාලයට යමි. පසුගිය වසරේ මැයි මාසය වන තෙක් කිසිදා පුළුල් තිරයක සිනමාපටයක් නරඹා නොමැති ඒ දරුවන් තිරය මත දකිමි. මීට අවුරුදු කිහිපයකට පෙර අප ගිය නාන්නේරිය, මහතෝරව පාසල වෙත යමි. පාවහන් නොපැළඳි ඒ දරුවන් තිරය මත දකිමි. හෝ ගානා පොකුණේ ගුරුවරිය වැනි ගුරුවරියන් ඇත්තේ අතලොස්සක් වන්නට පුළුවන. එහෙත් එවැනි අය නැතැයි කියන්නට මට නොසිතෙයි. දුයිෂෙන් ගේ සිට, කොබයාෂි ගුරුතුමාගේ සිට අදටත් ඈත ගම්මාන වල දරුවන්ගේ දෑස් පාදන්නට සිය ජීවිතය කැප කරන ගුරුවරුන් දක්වා ඇය සතු ගුණාංග අඩු වැඩි වශයෙන් පවතී. 
සිනමාපටයක් විදියට හෝ ගානා පොකුණ විචාරයට ලක් කරන්නට තරම් මා බහුස්‍රැතයෙක් නොවේ. එහෙත් නැවත නැවතත් බලන්නට සිත් දෙන ආදරණීය බවක් ඒ තුල ගැබ් වී තිබේ. විදුහල්පතිතුමාගේ උපහාසය, ගුරුතුමියගේ උත්සාහය, දරුවන්ගේ උනන්දුව, දෙමාපියන්ගේ සිහින, ග්‍රාම නිළධාරීගේ බලය යන මේ සියල්ල මා ගුරුවරයකු නොවූයේ මන්දැයි සිතන්නට මා පොළඹවයි. මේ සියල්ල අතහැර ඈත ගමක ගුරුවරයකු වුණානම් හොඳ යැයි මට සිතෙයි. එවිට දරුවන් වෙනුවෙන් යමක් කරන්නට පුළුවන.

චිත්‍ර‍පටයේ කතාව ලියා තැබීම තවම නරඹා නැති අයට කරන අසාධාරණයකි. එසේ වුවද එකිනෙකට වෙනස් ස්ථර තුනක දිවෙන කතා තුනක් හෝ ගානා පොකුණේ මම නරඹමි. පළමුවැන්න මතුපිටින් පෙනෙන ගුරුතුමිය දරුවන් මුහුද බලන්නට කැඳවාගෙන යාමේ කතාන්දරයයි. දෙවැන්න දරුවන්ගේ දෑස් පාදන්නට සමාජය සතු වගකීම පිළිබඳ කතාවයි. තුන්වැන්න සිනමාපටය පුර දිවෙන දේශපාලන කතාන්දරයයි. ඔබ සිනමාපටය නරඹන්නේ නම් මේ කතාන්දර තුනම කියවිය යුතුය.

ආයෙත් දවසක හෝ ගානා පොකුණ බලන්නට යන්නට මට සිතෙයි. සිනමාකරුවකු ලෙස ඔහුගේ පළමු සිනමාපටයෙන්ම ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතා සමත් වී ඇති බව පෙනෙන්නේ ඔහු ලැබූ සම්මාන වලින් නොවේ. නැවත නැවතත් සිනමාහලට අප කැඳවන මේ ඇද බැඳගන්නා සුලු බව නිසා ය.


මීට අවුරුදු 10 කට ඉස්සර මට ද නාට්‍ය උණ වැළඳී තිබූ සමයෙහි ෆර්ඩි සර් සමග ඉබ්බාගමුව පුහුණු මධ්‍යස්ථානයේ දින කිහිපයක් ගත කර ඇත්තෙමි. ජාතික තරුණ සේවා සභාවේ ඇතුගල්පුර රංග ශිල්ප ශාලිකාවේ ශිෂ්‍යයන් වූ අප වෙනුවෙන් සමන් ගාමිණී සර්ගේ ඇරයුමින් පැමිණි ගාමිණී හත්තොටුවේගම, සරත් ධර්මසිරි, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍ර‍නාන්දු, අජිත් ක්‍රිෂාන්ත ද සේරම් වැනි ගුරුවරුන් සමග බාහිර දේශකවරයෙකු වශයෙන් ඔහු ද සහභාගී විය. එදා ඔහු අපට ඉගැන්වූ නාට්‍ය කළාව ඔහුගේ "කලම්බො කලම්බො" තුල මා දුටුවෙමි. ඔහු අපට ඉගැන්වූ සිනමාව "හෝ ගානා පොකුණ" ඔස්සේ දකිමි. 

ඉතින්, හෝ ගානා පොකුණ නරඹන්න යැයි මම ඔබට ද ආරාධනා කරමි. ඒ මා එය සැබැවින්ම රස විඳි නිසා ය.

Read more ...