ලිංගික අධ්‍යාපනය, ඒඩ්ස් සහ සමලිංගිකත්වය ඉගැන්වීම
ඒ අප 8 වන ශ්‍රේණියට පාස් වූ දවස් ය. අලුතින් ලැබෙන අටෝරාසියක් අච්චු පොත් අතර එක් වෙනස් ආකාරයේ පොතක් විය. 'උදා වූ යෞවනය' වර්ණ ඔප දැමූ කඩදාසියේ මුද්‍රණය කර තිබූ එහි නම විය. ඒ වෛද්‍ය තාරා ද මෙල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කල යුගයයි. ඒ කාලයේ ආරම්භ කරන ලද ඇතැමුන් විසින් 'ලිබරල්' යැයි හඳුන්වා දුන් ජීවන නිපුනතා විෂය නිර්දේශයට ඇතුලත් කිරීම, සත්ත්ව විද්‍යාව වෙනුවට ජීව විද්‍යා විෂයය හඳුන්වා දීම ආදී ප්‍රතිසංස්කරණ වල එක් පියවරක් වූයේ යොවුන් වියට පිවිසෙන යෞවනයන්ට මූලික ලිංගික අධ්‍යාපනයක් ලබා දීම විය යුතුය.

එහෙත් පොත ගෙදර ගෙනා හැටියේම අපේ අම්මා කිව්වේ 'අම්මෝ දැන් කාලෙ ළමයින්ට උගන්නන දේවල්' කියා ය. වාසනාවට ඇය එතනින් එහාට කිසිවක් කීවේ නැත. එහෙත් මට වඩා උපායශීලීත්වයෙන් මුහුකුරා ගිය බොහෝ මිතුරන් ඒ පොත දෙමාපියන්ට හසු නොවන පරිදි සඟවාගෙන කියවූ අතර ඒ වසරින් පසුව නැවත ශිෂ්‍ය කණ්ඩායමකට ලබා දීමට කිසිවෙක් ඒ පොත ආපසු බාර දී නොතිබිණි. ගුරුවරුන්ට ද එය එසේ විධිමත්ව එකතු කරගෙන නැවත ලබා දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැත.
උදා වූ යෞවනය ලත් තැනම ලොප් වූ අතර ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඩමක් ඊට පසු වසරේ සිට සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය විෂය නිර්දේශයට එක් විය. නමුත් එයින් සිදු වූයේ මෙරට අධ්‍යාපනය ආරම්භ වූ දා සිට කිසියම් පාඩමක් සෑම ගුරුවරයෙක් විසින් ම හිතාමතාම අතපසු කර ඇත්නම් ඒ පාඩම බවට එකී ලිංගික අධ්‍යාපනය පාඩම වාර්තාගත වීමයි.
ශ්‍රී ලංකාව තුල සුළඟින් ඒඩ්ස් බෝවන, ලිංගික අනන්‍යතාවයන් හාස්‍යයට ලක් කෙරෙන, සමලිංගික තරුණයාට/තරුණියට විෂමලිංගික විවාහයකට බල කෙරෙන සහ ලිංගිකත්වය/ලිංගික නැඹුරුව දේශපාලන කුණුහරුපයක් වන සමාජයක් බිහි වන්නේ එකී අධ්‍යාපන පසුබිමක් තුල ය. පියා එච්.අයි.වී. ආසාදිතයකු වීම නිසා කුලියාපිටියේ දරුවාට පාසලක් අහිමි කල ගම්වැසියන්ගෙන් ආරම්භ වී ආණ්ඩුවේ වැරදි ලිංගික කෝණයෙන් දකින විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දක්වා දිවෙන ලිංගිකත්වය පිළිබඳ නොදන්නා කමේ උදාහරණ විසින් නැවත නැවත ඔප්පු කර පෙන්වන්නේ ගුරුවරුන්ගේ ලැජ්ජාව හෝ අධ්‍යාපන පද්ධතිය තුල පවතින නොහැකියාව තුල පාසලෙන් පිටවන යෞවනයා හෝ යෞවනියගේ ලිංගිකත්වය පිළිබඳ දැනුම ශූන්‍ය බව ය.



එක්තරා සංවිධානයක් විසින් ආරම්භ කිරීමට යන අධ්‍යාපන වැඩසටහනක් පිළිබඳ දේශපාලන මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ වන්නේ මෙකී පසුබිම තුල ය. මෙම පාඩම් මාලාව තුලින් ඉගැන්වීමට බලාපොරොත්තු වන දේ පිළිබඳ මට අවබෝධයක් නැතත් ප්‍රතිපත්තිමය වශයෙන් මෙරට පාසල් ශිෂ්‍යයාට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලැබීමේ පසුබිමක් නිර්මාණය විය යුතු බව මගේ හැඟීමයි. එවිට ගම්පහ පාසලේ පහ වසරේ ඉගෙනුම ලබන දැරිය වැනි තවත් දරු දැරියන්ගේ ජීවිත නිකරුණේ කාලකන්නි කිරීමේ පාපයෙන් මිදීමට විදුහල්පතිවරුන්, දෙමාපියන් ඇතුලු සමස්ථ සමාජයට හැකියාව ලැබෙනු ඇත.
පසුගිය දශකයක පමණ කාලය තුල ශ්‍රී ලංකාව තුල අනවශ්‍ය ආකාරයේ සමලිංගිකත්ව භීතිකාවක් ඇති කර තිබේ. එක් ආකාරයකින් විවිධ දේශපාලනඥයන්ට එරෙහි දේශපාලනමය මඩ ගැසීමක් දක්වා යන බලය පවත්වාගැනීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වන මෙකී භීතිකාව අනෙක් පසින් අලුතින් ආරම්භ කරන කුමන හෝ ක්‍රියාවකට එරෙහිව සමාජය උසිගැන්වීම තුලින් එය අඩපන කිරීමට ඉතා ලැජ්ජාසහගත අයුරින් භාවිතාවේ යොදවන අවියක් බවට පත් කරගෙන තිබේ. ඊට බොහෝ උදාහරණ මෑත සමාජයෙන් සොයාගත හැකිය.
මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ සමයේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් වැලකීමට උපත් පාලන කොපු ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ඊට එරෙහිව 'ගවේශනාත්මක මාධ්‍යකරණයක' නියැලුණු එක්තරා ජාතික මට්ටමේ පුවත්පතක් අදාළ සංවිධානය 'සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට' කටයුතු කරන්නේ යැයි ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. එහෙත් අද වන විට රජය විසින් වසරකට උපත් පාලන කොපු මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයන් (පවුල්, වානිජ ලිංගික වෘත්තිකයන් සහ තරුණ ප්‍රජාව) වෙත නොමිලේ බෙදා හරිනු ලබයි.


ඇතැම් විට මෙකී සමලිංගිකත්වය ඉගැන්වීමේ කතාව ද මීට සමාන විය හැකිය. එබැවින් එකී දේශපාලන උවමනාවට එහා යමින් සත්‍ය නිසි පරිදි සමාජගත කිරීම ජනමාධ්‍යයේ ද වගකීමක් වන්නේ ය. ඒ අයුරින්ම යෞවනයේ සහ යෞවනෝදයේ සිටින දරු දැරියන්ට නිසි හා නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය සතු වගකීමකි. වැඩිවියට පත් විම, ලිංගික සනීපාරක්ෂාව, අතවරයන්ගෙන් ආරක්ෂා වීම, පුද්ගල ලිංගික අනන්‍යතාවයන්, අනවශ්‍ය ගැබ්ගැනීම් වැලැක්වීම සහ ලිංගාශ්‍රිතව බෝවන රෝග පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබා දීම තවත් දරුවකුට පාසලක් අහිමි කිරීම වලක්වන පියවරක් විය හැකි වන අතරම ලිංගාශ්‍රිත රෝග වැළඳීම අවම කිරීමට, පුද්ගලයන්ගේ ලිංගික අනන්‍යතාවය හේතුවෙන් මුහුණ දීමට සිදු වන අතවරයන්ගෙන් වැළකීමට, අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඇති වන ගබ්සා කිරීම් අවම කිරීමට මෙන්ම දේශපාලන වේදිකාවේ කුණුහරුපයක් බවට ලිංගික අනන්‍යතාවය පත්වීම වැලැක්වීමට ද හේතු වනු ඇත.

සමලිංගිකත්වයට කරදර හිරිහැර අනුමත නොකරන නමුත් එය ප්‍රචාරනය අනුමත නොකරමි. මම සම්ප්‍රදායානුකුල වෙන්ට ඇති. ඒත් එල්ජිබිටි ප්‍රමෝට් කරන එකට අකමැතියි
ReplyDeleteමෙම වැඩසටහනේ එල්ජීබීටී ප්‍රමෝට් කිරීමක් සිදු නොවන බව මේ ලිපිය කියවූ ඒ ගැන දන්නා අයෙක් ප්‍රකාශ කලා. කෙසේ වුවත් මා යෝජනා කරන්නේ විධිමත් ලිංගික අධ්‍යාපනය ලබා දීමේ ඇති අවශ්‍යතාවය ගැනයි.
Delete