සහන සේවා වල යෙදෙන දයාබර ඔබ වෙනුවෙනි... ආපදා ආශ්‍රිත ආතතියෙන් මිදෙමු...
ගංවතුර ගම් බිම් යට කරමින් ගලා ගොස් තිබේ. ජීවිත සිය ගනනක් ද, මිල කල නොහැකි තරම් දේපල ද සැඩ පහරට හසුවිය. මියැදෙමින් සිටින ජීවිත එකින් එක බේරාගන්නට කැප වූ ස්වේච්ඡා සහන සේවකයන් සංඛ්‍යාව දහස් ගණනකි. ඔවුන් පුහුණු ගලවාගැනීමේ සෙබලුන් නොවේ. ආපදා අවස්ථා වලට මුහුණ දීමට පුහුණු කරනු ලැබූවන් ද නොවේ. එහෙත් අවස්ථාවට වඩාත්ම අවැසි දේ ඔවුන් අතින් ඉටු වෙයි. එවැනි විශාල හදවත් ඇති ස්වේච්ඡා තරුණ කණ්ඩායම් නොවන්නට මේ ආපදාවේ හානිය තව සිය ගුණයකින් වැඩි වන්නට ඉඩ තිබිනි. එහෙත් ආපදාව විසින් සහ ආපදාමය වටපිටාව විසින් සහන සේවකයන් වෙත කරනු ලබන බලපෑම ද සුලු පටු නොවේ. එබැවින් මේ අදහස් ටික සහන සේවා වල නිරත වෙමින් අමිල සේවාවක් ඉටු කරන ඔබ වෙනුවෙනි.
ආපදා අවස්ථා ස්වභාවයෙන්ම ආතතිකාරී ය. පීඩාවට පත් වූවන්ගේ දුක, අවදානම් වටපිටාව විසින් ඇති කරන බිය, බොහෝ විට සිදු විය හැකි කලබලකාරී සහ ආවේගශීලී තත්ත්වයන් සහ අධික වෙහෙස ඔබ වඩ වඩාත් ආතතියට ලක් කරනු ඇත. ආතතිය "නරක" දෙයක් නොවේ. කිසියම් මට්ටමක් දක්වා ඇති වන ආතතිය මගින් ඔබගේ අවධානය, වැඩ කිරීමේ හැකියාව සහ උනන්දුව වැඩි කරන අතර වෙහෙස පලවා හරිනු ඇත. එහෙත් එම සීමාව ඉක්මවා යාම ඔබ වෙහෙසකාරී, අවධානය අඩු, ඉක්මනින් කෝපයට පත් වන අයෙකු බවට පත් කරනු ඇත.
ඔබගේ හුරු පුරුදු පරිසරයෙන් ඉවත්ව ආපදාමය පරිසරයකට යාම සහ අඩු සම්පත් ප්‍රමාණයක් භාවිතා කිරීම, ස්වේච්ඡා සම්පත් දායකයකු බවට පත් වන මොහොතේම ඔබ අපේක්ෂා කරන නමුත් එය ඔබ තුල පෙර නොපැවති සරල ආතතියක් (Basic stress) ඇති කරනු ලබයි. එහෙත් කාලයත් සමග ඔබ එම වටපිටාවට හුරු වන විට එම ආතතිය මගහැරී යයි. එහෙත් සුලු ආතතිකාරී සිද්ධීන් (උදා: බලාපොරොත්තු කඩවීම, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම, අනපේක්ෂිත කරදර, බැනුම් අවලාද වගේ දේවල්) දිගින් දිගටම සිදු වීමේ දී Cumulative stress හෙවත් ටිකෙන් ටික ආතතිය එකතු වී බරපතල ආතතිකාරී තත්ත්වයකට පත් වීමට ඉඩ ඇත. එමෙන්ම ආපදා අවස්ථාවක දී සහන සේවකයන් traumatic stress හෙවත් අප්‍රසන්න ආතතිය ඇති වෙන්න පුලුවන්. ඒකට හේතුව මරණ දැකීම, විශාල විනාශයන් දැකීමට ලැබීම, උදව් ඉල්ලන අවස්ථා වල උදව් කිරීමට හැකියාවක් නොමැති වීම වගේ දේවල්.
ඒ නිසා සහන සේවා ආරම්භ කිරීමට කලිනුත්, සහන සේවා වල නිරත වෙන අතරතුර දී ත්, සහන සේවා අවසන් කලාට පස්සෙත් මේ ආතතිය අවම කරගන්න ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. මුලින්ම ආපදා සහන සේවා ආරම්භ කරද්දි මේ වගේ ආතතීන් ඇති වෙන්න පුලුවන් බව දැනගැනීමත්, ඒ සඳහා සූදානම් වීම ඉතා වැදගත්. ඒ වගේම ආතතිය කියන්නෙ නරක හෝ වැරදි දෙයක් නොවන බවත්, එය හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ඉතා ප්‍රයෝජනවත් බවත් අවබෝධ කරගත යුතු වෙනවා. වැදගත්ම දේ ආතතිය ප්‍රමාණවත් මට්ටම ඉක්මවා යනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න එක. ඒ විතරක් නෙමෙයි, තමන්ගෙ හැකියාවන් මොනවද? තමන්ගෙ සීමාවන් මොනවද? කියන එක අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීමත්, ශරීරය විසින් ලබා දෙන පණිවිඩ (වෙහෙස, කුසගින්න වැනි) පිළිබඳ අවධානයෙන් සිටීමත් ඉතා වැදගත්.
සහන සේවා වල නිරත වෙන අතරතුර ආතතිය අවම කරගන්න නම් ඔබ ඔබ ගැනම විනයක් පවත්වා ගත යුතු වෙනවා.
01) ඔබේ සීමාවන් දැනගෙන ඒ අනුව කටයුතු කරන්න (උදා: ගංවතුර පවතින ප්‍රදේශ වල කටයුතු කිරීමේදී තමාට ආරක්ෂා විය හැකි ජල මට්ටම ගැන අවබෝධයක් ඇති කරගැනීම)
එය එක පැත්තකින් ඔබේ ජීවිතය ආරක්ෂා කරගනිමින් වැඩි පිරිසකට සේවා සැපයීමට උදව්වක් වෙනවා. මොකද ස්වේච්ඡා සහන සේවා කටයුතු හැම කෙනෙකුටම කරන්න අමාරුයි. ඒ නිසා ඔබ රටට සම්පතක්. ඔබේ ජීවිතය රටට වටිනවා. ඒ නිසා ඔබේ ආරක්ෂිත සීමාවේ කටයුතු කරන්න.
02) විවේක ගන්න
ශරීරය විසින් ඉල්ලා සිටින අවස්ථා වල ප්‍රමාණවත් විවේකයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ශරීරය විඩාවට පත් වෙන්නෙ විවේකය අවශ්‍ය වුණාම. ඒ වෙලාවට ටිකක් විවේකීව ඉඳලා ආයෙ වැඩි ශක්තියකින් වැඩ කරන්න උත්සාහ කරන්න.
03) ප්‍රමාණවත් නින්දක් ලබාගන්න
නින්ද ඕනෑම කෙනෙකුට අවශ්‍ය දෙයක්. මොකද ශරීරයේ ගෙවී යන කොටස් නැවත සකස් වෙන්නෙ නින්දේ දි. ඔබ නිදි නොලබා වැඩ කලොත් ඔබට වැඩි කාලයක් වැඩ කරන්න ලැබෙන්නෙ නෑ. නමුත් ඔබ ප්‍රමාණවත් නින්දක් ලබා ගනිමින් වැඩ කලොත් වැඩි කාලයක් වැඩි පිරිසකට සේවය කරන්න අවස්ථාව ලැබෙයි.
04) වෙලාවට කන්න
සමහරවිට ඔබට කෑමට ලැබෙන්නෙ බනිස් ගෙඩියක් වෙන්න පුලුවන්. නමුත් බඩගිනි වෙලාවට ඒක කන්න. ඔබ කෑමට වැය කරන විනාඩි 3-4 නිසා ඔබේ ආතතිය සෑහෙන දුරකට අඩු කරන්න පුලුවන්. ඒ නිසා උදේ ගෙදරින් එලියට බහින්න කලින් බඩ පිරෙන්න කාල යන්න. අතරතුරදි කෙටි ආහාරයක් හරි ලබාගන්න උත්සාහ කරන්න. මොකද බඩගින්නෙ ඉද්දි ගොඩක් තරහ යනවා. ඒ කියන්නෙ ඔබේ ආතතිය වැඩි වෙනව කියන එක.
05) මත්ද්‍රව්‍ය ගන්න එක අඩු කරන්න/නවත්වන්න.
මත්ද්‍රව්‍ය නිසා ආතතිය වැඩි වෙනව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනෙ.
06) සැහැල්ලු වීමට වෙලාවක් යොදාගන්න.
සමහර විට ගැඹුරු හුස්මක් ගන්න එක වෙන්න පුලුවන්, සින්දුවක් අහන එක වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් කට්ටිය එක්ක පොඩි කයියක් ගහන එක වෙන්න පුලුවන්. ඔබට අවස්ථාවෙ හැටියට සැහැල්ලු වෙන්න පුලුවන් ඕනැම ක්‍රියාකාරකමක් කරන්න පොඩි වෙලාවක් යොදාගන්න.
07) කණ්ඩායම එක්ක එකට වැඩ කරන්න.
තනියම වැඩ කරනවට වඩා කණ්ඩායමක් එක්ක වැඩ කරන එක ආරක්ෂිතයි, ඒ වගේම ආතතිය අඩුයි.
ඔබට හිතුනොත් මම ආතතියෙන් ඉන්නෙ කියල, මොකද කරන්න ඕන?
නිතර තරහ යනවනං, වැඩ කරන්න එපා වෙලා නං, කණ්ඩායමේ අනිත් අය රුස්සන්නෙ නැත්නං, නින්ද හොරයි නං ඔබගේ ආතතිය ටිකක් වැඩි වෙලා වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට;
01) ආතතිය ඇති කරන හේතුව හඳුනාගන්න.
- කණ්ඩායමේ ගැටලුවක්ද?
- වැඩ කරන විදියෙ ගැටලුවක්ද?
- පුද්ගලික ගැටලුවක්ද?
ඔය වගේ තමන්ගෙ ආතතිය වැඩි කරන ගැටලුව හඳුනාගන්න එකම ආතතිය යම් පමණකින් අඩු කරනවා.
02) ඔබේ ගැටලුව ගැන කණ්ඩායමේ සමීපතමයන් සමග කතා කරන්න.
බොහෝවිට ඒ අය ඔබට උදව් කරයි.
03) ආතතිය අඩු කරගන්න කරන්න පුලුවන් දේවල් ගැන හිතන්න.
- කණ්ඩායම මාරු කරන එක
- දවසක් දෙකක් වැඩ වලින් ඈත් වෙලා ඉන්න එක
- පවුලේ අය එක්ක සමීපව කටයුතු කරන එක
ඔබ ආතතියෙන් පෙළෙනවා කියල හිතෙනව නං;
- ඔබ යහපත් තත්ත්වයෙන් හිටියොත් තමා අනිත් අයට උදව් කරන්න පුලුවන් කියල මතක තියාගන්න.
- ආතතිය කියන්නෙ විවිධ අවස්ථා අනුව අඩු වැඩි වෙන්න පුලුවන් සාමාන්‍ය තත්ත්වයක් කියන එක අවබෝධ කරගන්න.
- ආතතිය වැඩි කරන දේවල් වලින් ටිකකට ඈත් වෙන්න. (වැඩි වගකීම්, වැඩි වැඩ, අකමැති අය වගේ)
- ටිකක් විවේක ගන්න
- හිත හැදෙන්න දවසක් දෙකක් දෙන්න
- තමන්ට ආදරය කරන අය එක්ක කාලය ගත කරන්න
ඒත් විසඳුමක් නැත්නම්;
උපදේශකවරයෙක් හමු වෙන්න. ඔබට අමතර සහයක් අවශ්‍ය විය හැකියි.
මතක තබාගන්න;
ඔබ හොඳින් හිටියොත් තමයි අනිත් අයට උදව් කරන්න පුලුවන් වෙන්නෙ.
- ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් නිකුත් කල Humanitarian action and armed conflict - Coping with stress අත්පොත ඇසුරිනි (1992)
වටිනා උපදෙස්...
ReplyDeleteනියමයි
ReplyDelete