පිස්සු ද? හැටි ද?

Saturday, September 23, 2017
මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආපනශාලාවේ තේ කෝප්පයක් රස විඳිමින් සිටිමි. මීට ටික වේලාවකට පෙර මා ගමන් කරමින් සිටි බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලැබූ වීඩියෝවක් මගේ මතකයට නැගෙයි. එක්තරා ඇමතිවරු දෙදෙනෙක් ග්‍රාමීය ප්‍රදේශයක වෙදමහතකු සොයා පැමිණෙති. එකී වෙදමහතා "පිස්සු" සුවපත් කිරීමට ප්‍රසිද්ධ වෙද මහතෙකි. මේ ඇමතිවරු දෙදෙනා යනුවෙන් පෙනී සිටින්නේ "පිස්සන්" දෙදෙනෙකු යැයි උපකල්පනය කරන වෙද මහතා ඔවුන් සිර කර තබා ගනිමින් ප්‍රතිකාර කරයි. ඔවුන් පැන යාමට උත්සාහ කරන අවස්ථා වල දී ද ගම් වැසියන් පවා සිතන්නේ මේ දෙදෙනා "පිස්සන්" බව ය. 

මා මේ මොහොතේ සිටින මේ භූමිය 1926 ට පෙර හැඳින්වූයේ "පිස්සන් කොටුව" හෙවත් Lunatic Asylum යන නමිනි. ටොරින්ටන් හි පිහිටුවනු ලැබූ පිස්සන් කොටුව ලංකාවේ දෙවන පිස්සන් කොටුව යි. පළමුවැන්න බොරැල්ලේ තිබූ බව කියවෙන නමුත් එහි ශේෂයන් දක්නට නොමැත. එහෙත් මෙම පිස්සන් කොටුව පසු කාලීන ව ලංකා ගුවන්විදුලිය (Radio Ceylon) බවට පත් කරන ලදින් එය සුරැකිනි. 

රූපවාහිනී වෙළඳ දැන්වීමක පෙනී සිටින එක්තරා රංගන ශිල්පිනියක් "අඹ කපන්න විතරක් පිහියක් ගන්නෙ ආයෙ පිස්සුවටයැ" යි කියන්නී ය. මා ගෙදර සිටි කාලයේ සතියකට දෙතුන් වතාවක් මගේ කාමරයට එන අම්මා "මේක පිස්සන් කොටුව වගේ නොතිය ටිකක් සුද්ද කර ගනිංකො" යැයි බැන වැදීම පුරුද්දක් ව පැවතිනි. මීට ටික කාලයකට පෙර මා විසින් කරන ලද ක්‍රියාවක් විවේචනය කල අයෙක් සැනසීමට තවෙකෙක් "ආ වැඩිය ගණන් ගන්න එපා. පිස්සු නෙ." යැයි පවසා තිබූ බව මට පසුව ආරංචි විය. 



මේ අනුව බලන කල පෙනී යන්නේ "පිස්සු" යන වචනය මානසික අසමතුලිතතාවයක් පවතින, වැරදි අවබෝධයන් සහිත, තනිව තීරණයක් ගත නොහැකි, වැරදි නිගමන වලට එළඹෙන, අපිරිසිදු පුද්ගලයන් කණ්ඩායමක් හැඳින්වීමට භාවිතා කරන බව ය. මීට සියවසකට පමණ ඉහත දී කිසියම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයන් හැඳින්වීමට එම වචනය භාවිතා කරන ලද්දේ එකී ලක්ෂණ සැලකිල්ලට ගනිමිනි. එහෙත් වර්තමානයේ එවැනි ලක්ෂණ සහිත මානසික ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් දැකිය හැක්කේ කළාතුරකිනි. එබැවින් "පිස්සු" යන වචනය පොදු භාවිතාවේ යොදා ගැනෙන වචනයක් බවට පත් ව ඇත.

කිසියම් පුද්ගලයෙක් අවස්ථාවට නොගැලපෙන හෝ නිරීක්ෂණය කරන පුද්ගලයාගේ අවබෝධයට හෝ තෝරාගැනීමට පටහැනි හැසිරීමක්, කතාබහක්, තීරණ ගැනීමක් පෙන්වූ අවස්ථා වල අපි ඔහුට හෝ ඇයට "පිස්සුදැ" යි අැසීමට පුරුදු වී සිටිමු. එහෙත් බොහෝ විට එකී හැසිරීමට ඒ පුද්ගලයාගේ "හැටි" වීමට ඉඩ තිබේ. කොටින්ම ඉස්සර සිටි "පිස්සු" පුද්ගලයන් දැන් නැති නිසා කිසියම් මානසික ආබාධයක් අත්විඳින පුද්ගලයකුට පවා "පිස්සු" යැයි ආමන්ත්‍රණය කිරීමට අපට ඇති හැකියාව සීමා සහිත ය. එබැවින් පිස්සු දැයි ඇසිමට පෙර අප දෙවරක් සිතිය යුතු ය. 

දැන් මානසික ආබාධය යන්න පැරණි "පිස්සු" රාමුව අභිබවා ගොස් ඇත. ඉස්සර පිස්සු හැදුනොත් ඔහු හෝ ඇය "පිස්සන් කොටුවට" ගෙන ගොස් දැමිය යුතු ය. ඒ ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට වන හානිය වලක්වා ගැනීමට ය. එහෙත් ලෝකය ඉදිරියට යමින් තිබෙන බවත්, මිනිස් මනස ගැන ඉස්සර නොදැන සිටි බොහෝ දේ මිනිසා දැන ඉගෙන ඇති බවත් අප තේරුම් ගත යුතු ය. මානසික රෝගය යනු හෘදයාබාධයක් හෝ දියවැඩියාව වැනි ම රෝගී තත්ත්වයක් බවත්, නිසි ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ මැඩ පවත්වාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට හැකියාව ඇති බවත් දැන් පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ 2005-2015 මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් දිස්ත්‍රික් මට්ටම දක්වා මානසික රෝගී නේවාසික ප්‍රතිකාර සේවා ව්‍යාප්ත කරන ලද්දේ ඒ අනුව ය. දැන් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන්ට තම දිස්ත්‍රික්කයේ මහරෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමටත් රෝග ලක්ෂණ පහව ගිය පසු නැවත නිවසට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටත් අවස්ථාව සැලසී තිබේ. එමෙන්ම නිවසට ආසන්නතම රෝහලෙන් පසුවිපරම් සහ ප්‍රතිකාර ලබාගැනීමට ද හැකියාව ඇත. 

එබැවින් යටත්විජිත සමයේ අප මානසික රෝග සහ රෝගීන් දෙස බැලූ කෝනය වෙනස් කර ගැනීමට කාලය එළඹ ඇත. අප එදා දුටු පිස්සුවට වඩා දැන් මානසික රෝගී තත්ත්වයන් වැඩියෙන් හඳුනාගනිමින් තිබේ. කිසියම් හෝ මානසික ආබාධයක් හේතුවෙන් රටට අහිමි වන මිනිස් පැය ගණන ගණන් බැලෙන්නේ ලක්ෂ ගනනින් නොව කෝටි ගණනිනි. එබැවින් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකුට නිසි ප්‍රතිකාර ලබා හැකි ඉක්මනින් නැවත සමාජගත වීමට අවශ්‍ය සමාජමය පිළිගැනීම ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි. 

දැන් මානසික සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයට රෝග මට්ටම අභිබවා පුළුල් පරාසයක් අන්තර්ගත කර ඇත. ඔබ කාර්යාලයේ දී, නිවසේ දී හෝ වෙනයම් අවස්ථාවක අත්විඳින ආතතිකාරී අවස්ථා වල සිට, ඉතා බරපතල ඝනයේ මානසික රෝගී තත්ත්වයන් දක්වා විශාල පරාසයක අයහපත් මානසික සෞඛ්‍යය පිළිබඳ සංකල්පය විහිදී යයි. ජීවිතයේ කවර හෝ අවස්ථාවක ලේඛණගත මානසික රෝගයක් වැළඳීමේ හැකියාව පුරුෂයන්ගේ 10% කි. කාන්තාවන්ගේ 25% කි. සෑම පවුල් 4 කින් ම එකක කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් සිටින බව සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි. 

හෙට දවසේ ඔබ හෝ මම කිසියම් මානසික රෝගයක ගොදුරක් වීමට ඇති හැකියාව කිසිවෙකුට අනුමාන කල නොහැකි ය. මොළයක් ඇති ඕනෑම අයෙකුට මානසික රෝගයක් වැළඳීමේ කිසියම් අවදානමක් තිබේ. කිසිවකු තුල අප දකින කිසියම් වෙනස් හැසිරීමක් "පිස්සු" ලෙස නොව ඒ පුද්ගලයාගේ "හැටි" ලෙස දකින්නට පුරුදු විය යුත්තේ එබැවිනි. "පිස්සුවේ හැටි" එහෙම ය. 

අවසාන වශයෙන් මාසයකට පසුව වුව ද කල යුතු ස්තුතියක් තිබේ. තමන්ගේ සල්ලි වලින් සම්මාන උළෙලක් පවත්වා මදි වී ඒ සඳහා සහභාගී වන බ්ලොග්කරුවන්ට කොළඹ සිට ප්‍රවාහන පහසුකම් ද සලසා දීමට තරම් පිස්සුවක් තිබූ ඉන්දික උපශාන්ත සහ දුෂාන් කරවිට සහෘද බ්ලොග්කරුවන්ට හා එහි දේශීය බර කරට ගත් අතුල තිලක් රණසිංහ, ලක්මාල් කන්දෙවිදාන සහ සුමිත් කලණසිරි ආදීන්ට ය. ඒ ඔවුන්ගේ හැටි ය. ඒ හැටිය විශිෂ්ඨ ය.


නැවත හමු වෙමු....!

6 comments:

  1. පෝස්ටුව නං හොඳයි නොකිය ඉන්නෙ ආයෙ පිස්සුවටයැ

    ReplyDelete
  2. ඔබ ඉන්නේ නිවැරදිම වෘත්තියක බව මේ කථාබහ ආරම්භ කල ආකාරයත් අවශ්‍ය කාරණය වෙත ප්‍රවිශ්ඨ වූ ආකරයත් බැලූ කල මට සිතුණි..
    [එයටම ගැලපෙන ප්‍රසන්න භාවයන් ගැන ඔබ මූණගැසෙන්නාටම පසක් වන්නට ඉඩ තබමි..]
    ජය!

    ReplyDelete
  3. මට ඒ හැටි පිස්සුද.....:)

    ReplyDelete
  4. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සු හැදෙන පෝස්ට් එකක්..අඳුනා ගන්න ලැබීම සතුටක්!

    ReplyDelete
  5. ''මොළයක් ඇති ඕනෑම අයෙකුට මානසික රෝගයක් වැළඳීමේ කිසියම් අවදානමක් තිබේ.'' මේ ලිපියේ ඉතා වටිනා වාක්‍ය මෙය වන අතර මට කෙදිනකවත් පිස්සු නොසෑදෙන බව මෙයින ස්ථිර කරගත්තෙමි.

    ReplyDelete
  6. ඒ කියන්නෙ පිස්සු හැදෙන්නම ඕන මොළයක් තියේද කියල හොයාගන්න. හැක්..

    අර අන්තිමට නං කියල තියෙන පස්දෙනාට පිස්සු ද?

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.