විකල්ප නොමැති වීමේ අර්බුදය

Tuesday, April 18, 2017

විකල්ප නොමැති වීමේ අර්බුදය


මීට ටික දවසකට පෙර කොළඹ තාප්ප පුරා අලවා තිබූ දැන්වීමක වූයේ "විකල්ප නොමැත" යන පාඨයයි. එක්තරා විෂයයකට අදාලව ටියුෂන් ගුරුවරයකු විසින් අලවා තිබූ එම දැන්වීමේ අරමුණ අදාළ විෂයය සඳහා ඇති "හොඳම පන්තිය" තමාගේ පන්තිය බව පෙන්වීම විය හැකි නමුත් "විකල්ප නොමැත" යන පාඨය කෙතරම් සාහසික එකක් දැයි ඔහු සිතන්නට නැතුවාට සැක නැත.

විකල්පය, නැතහොත් alternative යන්නෙන් අදහස් කරන්නේ පවතින කිසියම් දෙයක් හෝ පුද්ගලයෙක් වෙනුවට තෝරා ගත හැකි වෙනත් ඒ හා ආසන්න ප්‍රතිඵල ලබා දෙන දෙයකට හෝ පුද්ගලයකුට ය. කිසියම් අවශ්‍යතාවයකට විකල්ප කිහිපයක් ඇති විට අවශ්‍යතාවය ඇති පුද්ගලයාට තමාට වඩාත් ගැලපෙන හෝ තමා වඩාත් කැමති විකල්පය තෝරා ගත හැකිය. විකල්ප නොමැති අවස්ථා වල තම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා පවතින "එකම තෝරාගැනීම" සිදු කිරීමට ඔහුට හෝ ඇයට සිදු වේ.

මෙය කෙතරම් සරළ දැයි ඔබට සිතෙන්නට පුලුවන් නමුත් විකල්ප නොමැති වීම නිසා අැති වන ඒකාධිකාරය ඇතැම් විට බරපතල අර්බුදයක් දක්වා පරිනාමය වීමට වුවද හැකිය. උදාහරණයක් ලෙස ගත් කල ලංකාවට ජංගම දුරකථන පැමිණි මුල් යුගයේ ජංගම දුරකථන සේවා සපයන ලද්දේ එක් සමාගමක් පමණි. එවකට මිල දී ගත හැකි වූයේ සෙල්ටෙල් සමාගමට අයත් ඇනලොග් වර්ගයේ දුරකථන පමණි. එහි පැවති ඒකාධිකාරය හේතුවෙන් ජංගම දුරකථනයක් අවශ්‍ය ඕනෑම අයෙකුට අදාළ සමාගමේ දුරකථනයක් මිල දී ගත යුතු විය. එමෙන්ම පාරිභෝගිකයාට ඉතා විශාල සේවා ගාස්තුවක් ගෙවීමට ද සිදු විය. එහෙත් පසුකාලීනව වෙනත් දුරකථන සමාගම් වෙළඳපොලට පිවිසීමත් සමග "විකල්ප" බිහි විය. වඩාත් පහසුකම් සහිත දුරකථන අඩු මිලට ලබා ගත හැකි වූ අතර සේවා ගාස්තු ද සීඝ්‍ර ලෙස පහත වැටිනි. එයට හේතු වූයේ වඩාත් ලාබදායී විකල්පය වෙත පාරිභෝගිකයන්ට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීමයි. 

තෝරාගැනීමට ඇති අවස්ථා හෙවත් "විකල්ප" පැවතීම සලකනු ලබන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙනි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිව් වන පරිච්ඡේදයේ තමන් කැමති භාෂාවක් භාවිතා කිරීමට, කැමති ආගමක් ඇදහීමට, තම සුදුසුකම් වලට සරිලන රැකියාවක් තෝරා ගැනීමට සහ තමාට ජීවත් වීමට සුදුසු ස්ථානයක් තෝරාගැනීමට ආදී වශයෙන් තෝරාගැනීමට ඇති නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස දක්වා තිබේ. එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව කිසියම් ආබාධයකින් පෙළෙන පුද්ගලයකුට තමාට සුදුසු යැයි හැඟ‍ෙන ප්‍රතිකාර වෙත යොමු වීමට, තමා පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට ආදී වශයෙන් විකල්ප වෙත යොමු වීමට ඇති අයිතිය තහවුරු කර තිබේ.

අයිතිවාසිකම එසේ වුවද තත්‍ය ලෝකයේ "විකල්ප" පවතින ගැටලු වලට වඩා "විකල්ප" නොමැති ගැටලු සංඛ්‍යාව ඉතා විශාලය. උසස් පෙළ විෂය ධාරාවට යොමු වන ශිෂ්‍යයකුට තෝරාගැනීමට ඇති විකල්ප විෂයයන් ගණනාවක් අතරින් තමාට වඩාත් සුදුසු විෂයයක් තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ශිෂ්‍යයන් අතලොස්සකට පමණි. බහුතරයක් සිසුන්ට තමන්ගේ පාසලේ උගන්වනු ලබන විෂයයන්ට පමණක් සීමා වීමට සිදු වේ. පාසල් සිසුන්ට පුහුණු විය හැකි ක්‍රීඩා ගණනාවකින් එකක් තෝරාගැනීමට අවස්ථාව ලැබෙන්නේ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක සිසුන්ට පමණි. අනිකුත් සිසුන්ට තම පාසලේ පවතින ක්‍රීඩා වලින් එකකට, නැතහොත් පාසලේ ඇති එකම ක්‍රීඩාවට යොමු වීමට සිදු වේ. ඒ අයුරින්ම තමාට කැමති උපාධි පාඨමාලාවට ඇතුලත් වීමට, තමා වඩාත් කැමති වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසීමට හෝ තමා වඩාත් කැමති කාර්යාලයක රැකියාවක යෙදීමට අවස්ථාව හිමි වන්නන් ඉතා අල්පය.

විකල්ප නොමැති වීම නිසා සේවාව සපයන්නා සහ සේවාව ලබන්නා අතර බලය පිළිබඳ අසමතුලිතතාවයක් ගොඩ නැගෙයි. ඉහත දුරකථන උදාහරණයේ දී දුරකථන සමාගම ඇති කරගන්නා ඒකාධිකාරයට යටත් වීමට පාරිභෝගිකයාට සිදු වෙයි. තම පාසලේ සිට තමාට සුදුසු විෂය මාලාවක් හැදැරිමට හෝ සුදුසු විෂය ධාරාවක් සහිත පාසලකට ඇතුලත් වීමට අවස්ථාවක් නොමැති ශිෂ්‍යයාට පවතින විෂය ධාරාව හැදෑරීමට සිදු වේ. විකල්ප නොමැති වීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ සේවාව ලබන්නා ඒකාධිකාරයට යට වීමයි. එහිදී පාසල් සිසුවාට තමා බලාපොරොත්තු වන ඉලක්කය මගහැරී යා හැකි අතර පාරිභෝගිකයාට දුරකථන සේවා ගාස්තුව දරා ගත නොහැකි වීම නිසා එම අවශ්‍යතාවය අමතක කර දැමීමට සිදු විය හැකිය. 

තනි තනි පුරවැසියන් වශයෙන් මෙන්ම රටක් විදියට ද අපට ඇති විකල්ප අවම ය. සුදුසුකම් වලට සරිලන රැකියා නොමැත. අනිත් අතට පවතින රැකියා වලට සුදුස්සන් උසස් අධ්‍යාපන ආයතන වලින් බිහි වන්නේ ද නැත. ඒ නිසා තමන් කැමති රැකියාවක් තෝරා ගන්නවා වෙනුවට තමාව තෝරාගන්නා රැකියාවට යාමට සිදු වී තිබේ. තමාට වඩා සේවයක් කල හැකි දේශපාලනඥයන් තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන නමුත්, ඡන්දදායකයන් කියන්නේ "කොයි එකාට දුන්නත් එකයි" කියා ය. තෝරාගැනීමට තරම් සුදුසු පුද්ගලයන් දේශපාලනයේ නැතැයි සිතන නිසාම මිනස්සු ඡන්ද අයිතිය භාවිතා කරන්නේ අඩුවෙනි. නැතහොත් උදාසීනත්වයෙනි. නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා පැවසූ ආකාරයට අලුතින් ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වීමේ අඩුවක් ඇති වීමට ද විකල්ප නොමැති වීමේ අර්බුදයේ බලපෑමක් තිබිය හැකිය. 

එමෙන්ම අපි අපට විකල්ප සඳහා අයිතියක් ඇති බව දන්නේ නැත. සෞඛ්‍ය සේවාවන් වෙත යොමු වන රෝගියකුට තමාට ප්‍රතිකාර ලබා ගැනීමට ඇති සියලු විකල්පයන් පිළිබඳ දැනගැනීමට හා එයින් එකක් වෙත යොමු වීමට අයිතියක් ඇතත් එවැනි පැහැදිලි කිරීමක් කරන වෛද්‍යවරුන් ඉතා අල්පය. අනිත් අතට එවැනි පැහැදිලි කිරීමක් සිදු කරන වෛද්‍යවරයා වෙත රෝගියා දක්වන්නේ ද සැක සහිත ආකල්පයකි. බොහෝ විට එවැනි අවස්ථා වල ඔවුන් සිතන්නේ වෛද්‍යවරයාට ප්‍රතිකාරය "ෂුවර් නැත" කියා ය. ඊළඟ දවසේ ඒ වෛද්‍යවරයා වෙත යන්නේ එහෙමත් අයෙකි. 

රෝගීන්ගෙන් 95% කට වඩා ප්‍රමාණයක් යොමු වන්නේ දිවයින පුරා ඕනෑම අයෙකුට ප්‍රවේශ විය හැකි ලෙස සිහිටා ඇති බටහිර වෙදකම කරනු ලබන රජයේ රෝහල් වෙතය. එතරම් සුලබ නොවීම, නැතහොත් ප්‍රවේශ වීමේ අපහසුව හේතුවෙන් අනෙකුත් ආයුර්වේද, සාම්ප්‍රදායික නැතහොත් ආධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රම වෙත රෝගීන් යොමු වීමේ විශාල අඩුවක් පවතී. එමෙන්ම විශ්වවිද්‍යාල වලට පිවිසීමට නොහැකි වන සිසුන්ට පවතින විකල්පයක් වශයෙන් සැලකිය හැකි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වෙත පිවිසීමට බොහෝ සිසුන්ගේ ආර්ථික තත්ත්වය හේතුවෙන් නොහැකි විය හැකිය. එබැවින් විකල්ප පැවති පමණින්ම අර්බුධය සමනය වන්නේ නැත. අදාළ විකල්ප වෙත පිවිසීමට ද මිනිසුන්ට හැකියාව තිබිය යුතුය. 

මිනිසා සවි බල ගැන්වෙන්නේ ස්වාධින ලෙස තම ජීවන රටාව තෝරාගැනීමට මිනිසාට අවස්ථාව ඇති විට ය. තමා ගන්නා ආහාර, තමා ජීවත් වන ස්ථානය, තමා ආශ්‍රය කරන පුද්ගලයන්, තමා කරන වෘත්තිය, තමා අධ්‍යාපනය ලබන විෂය ක්ෂේත්‍රය, තමා අදහස ආගම සහ තමා කතා කරන භාෂාව ආදිය රිසි පරිදි තෝරාගැනීමට අවස්ථාව ඇති විට ය. ඒ සඳහා නිදහසේ තෝරාගත හැකි විකල්ප ඇති විට ය. එවැනි අවස්ථා සහිත යුගයක් යන්න කිසිදා සැබෑ නොවන සිහිනයක් විය හැකි ද?

3 comments :

  1. හොඳ අදහස් !
    මිනිස්සු විකල්ප දකින්න අසමත් වෙන එකත්, ප්‍රශ්න නොවිසඳී තියෙන්න ලොකුම හේතුවක්.විකල්ප දකින්නත් නිර්මාණශීලීත්වය (Creativity ) තියෙන්න ඕනෙ නේද?

    ReplyDelete
  2. අගනා ලිපියක්.. බොහෝ තැන් වලදී අප ප්‍රමාණවත් විකල්ප නොමැති වීම නිසා පීඩා විඳිමු.. ගැටයා කී පරිදි.. වැඩි වැඩියෙන් විකල්ප සොයා ගැනීමට උත්සුක වීම ද අත්‍යවශ්‍ය ය..

    ReplyDelete
  3. විකල්ප වාමාංශයක් හා විකල්ප දක්ෂිනාංශයක් තියනවද?

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.