ෆේස්බුක් හරහා දුම්බර මිටියාවතට ගිය ගමනක්...

Monday, May 18, 2015

ෆේස්බුක් හරහා දුම්බර මිටියාවතට ගිය ගමනක්...


දුම්බර මිටියාවත විවිධ කාරණා වලදි නිතර කියවෙන ප්‍රදේශයක්. විශේෂයෙන්ම දුම්බර කඳුවැටියත් ඒ ආශ්‍රිත පරිසරයත් විශාල ජෛව විවිධත්වයක් සහිත කලාපයක් විදියටයි සැලකෙන්නෙ. වන බිම්, ගංඟා, ඇළ දොළ, කඳු වැටි වන සතුන්ගෙන් පිරි පරිසර පද්ධති රාශියක් මෙම භූමිය තුළ හඳුනාගත හැකියි. ඒ නිසාම දුම්බර කඳුවැටිය මූලික කරගෙන වන රක්ෂිතයක් ප්‍රකාශයට පත් කරල තියෙනවා. දුම්බර ප්‍රසිද්ධියට පත් වෙන්න තවත් හේතුවක් තමයි දුම්බර කලාශිල්ප. හණ සහ ලාක්ෂා ආශ්‍රිත දුම්බර රටා කර්මාන්තය ලොව පුරා ප්‍රසිද්ධ කලා ශිල්ප කිහිපයක්. 
 
දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාසලට පෙනෙන අයුරු

කහටලියද්ද කියන්නෙ ඒ සුන්දර දුම්බර මිටියාවතේ තියෙන එක ගම්මානයක්. මහනුවර මහියංගන පාරෙ කිලෝමීටර් 49 ක් ගියාම හම්බවෙන උඩදුම්බර නගරයෙන් වම් පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට තමයි කහටලියද්ද හම්බවෙන්නෙ. උඩදුම්බර ඉඳල කහටලියද්දට යන ගමන ඉතාම ප්‍රපාතාකාර බෑවුම් සහිත මාර්ගයක යන්න තියෙන ගමනක්. අපට මේ ගමට යන්න අවස්ථාව ලැබුණෙ අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆේස්බුක් භාවිතාකරන අපේ සොයුරු සොයුරියන් කණ්ඩායමක් කහටලියද්දෙ විශාල පිංකමක් කරන්න කටයුතු කරමින් ඉන්න නිසා.
 
ශ්‍රමදානයේ අවස්ථාවක්

කාලයක් මුහුණු පොත සිතුවමින් හැඩකල සිත්තරි මං, එහෙමත් නැත්නම් තිලිණි ෂැල්වින් සොයුරිය සේවය කරන්නෙ මේ කහටලියද්ද චූලාභය ද්විතීයික පාසලේ. මේ පාසලේ දරුවන් පහුගිය අවුරුදු හයක් තිස්සේ විශාල ජල හිඟයකින් පීඩා විඳිනවා. ඊට හේතුව පාසලේ තිබුණු එකම නල ළිඳ ක්‍රියා විරහිත වීම. තිලිණි සොයුරිය ඒ ගැන දැනුවත් කලාට පස්සෙ ෆේස්බුක් මිතුරු මිතුරියන් මේ වැඩේට එකතු වුණා. ඉතා ඉක්මනින් නල ළිඳ යථා තත්වයට පත් කරන්න ඔවුන් සමත් වුණා. නමුත් ඊට වඩා කල් පවතින විසඳුමක් විදියට පාසලට කිලෝමීටර් 1 1/2ක් දුරින් තියෙන ජල උල්පතකින් පාසලට ජලය සපයන්නයි ඔවුන්ට අවශ්‍ය වුනේ. 
 
වැඩමුලුවේ අවස්ථාවක් - තේනුවර සර්

මේ කටයුත්ත ගැන කනික් කොනින් ආරංචි වෙලා ෆේස්බුක් ඇතුලු අන්තර්ජාලයේ මිතුරු මිතුරියන් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරලා තිබුණා. පහුගිය පහළොස් වෙනිදා, ඒ කියන්නේ චූලාභය ද්විතීයික පාසල ආරම්භ කරලා අවුරුදු 135 ක් සම්පූර්ණ වෙන දවසේ ඒ කටයුත්තෙන් වැඩි ප්‍රමාණයක් අවසන් කරන්න ඔවුන් සමත් වුණා. උල්පත තියෙන තැන ඉඳලා පාසලට නල ඇතිරීම මේ වෙනකොට අවසන් කරලා තියෙන්නෙ. පාසලේ ජල ටැංකිය හදන වැඩෙත් සැළසුම් කරලා ඉවරයි. නමුත් මේ කණ්ඩායම එතනින් නවතින්නෙ නෑ.
 
මුදල් භාවිතයේ විනිවිද භාවය

මීට සමගාමීව ඒ පාසලේ දරුවන්ට මුද්‍රණ යන්ත්‍රයක්, රෝනියෝ මුද්‍රණ යන්ත්‍රයක්, පුස්තකාලයක් ඇතුලු බොහේ දේ දෙන්න දැනටමත් සැළසුම් කරලා. ඊට අමතරව පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරන්නත්, දරුවන්ගේ සහ දෙමාපියන්ගේ දැනුම දියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරන්නත් ඔවුන් කටයුතු කරනවා. එහි පළමු පියවර විදියට ප්‍රවින චිත්‍ර/ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර සහ ප්‍රවින කිවිවර බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරුන් එක්ක ඒ දරුවන් වෙනුවෙන් දවසක් ගතකරන්න අවස්ථාව ලැබුණ නිසයි මේ පෝස්ට් එක මේ විදියට ලියවෙන්නෙ.

පහුගිය සතියෙ පැවැත්වූ වැඩසටහන ආරම්භ වුනේ 14 වෙනිදා හැන්දෑවෙ. එදා ඒ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් සිනමාපටයක් ප්‍රදර්ශනය කරනු ලැබුවා. එදා තමයි ඒ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් පුළුල්තිරයක සිනමාපටයක් නරඹපු පළමු අවස්ථාව. 15 වෙනිදා උදේ 8.00 ට පාසලේ දරුවන්ගෙ දෙමාපියන් සහ කොළඹින් ගිය කණ්ඩායම ශ්‍රමදානයකින් නල එලීමේ කටයුත්ත ආරම්භ කලා. හවස 2 වෙනකොට කිලෝමීටර් 1 1/2ක මුලු දුර ප්‍රමාණයම නල එලලා අවසන් කරන්න ඔවුන් සමත් වුණා. ඒ අතරෙ තමයි දරුවන් වෙනුවෙන් වැඩමුළුව පැවැත්වුනේ. 
කහටලියද්දට ඉර උදා වූ හැටි



වැඩසටහනේ දෙවන අදියර යටතේ 

  • ලීටර් 5000 ධාරිතාවයෙන් යුත් ජල ගබඩා ටැංකියක් ඉදිකිරිම 
  • වැඩිහිටි ගැහැණු දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරිම සඳහා වැසිිකිළි අලුත්වැඩියාව සහ සනීපාරක්ෂක තුවා බැහැර කිරිමේ පද්ධතියක් පාසල තුල ඉදිකිරිම
  • පානිය ජල ව්‍යාපෘතියේ ජල ධාරිතාවය වැඩි දියුණු කිරිම
  • පාසල තුල අභ්‍යන්තර ජලය බෙදාහැරීමේ පද්ධතිය වැඩි දියුණු කිරිම
  • සනීපාරක්ෂක සහ ජලයෝජනා ක්‍රමයේ නඩත්තු සහ මෙහෙයුම් ක්‍රියාවලිය ස්ථාපිත කිරිම සහ
  • පුස්තකාලය සදහා පොත්පත් ලබාදීම
සිදු කිරීමට නියමිතයි. 

මේ කටයුතු වලට සහභාගී වෙන හැම කෙනෙක්ම තම තමන්ගේ වියදම් තමන් දරාගනිමින් මේ කටයුත්තට දායක වීම වැදගත් කාරණයක්. තමන්ට ආධාර වශයෙන් ලැබෙන සියලු මුදල් ව්‍යාපෘතිය වෙනුවෙන් පමණක් වැය කරන්න ඔවුන් තීරණය කරලා. ඒ නිසා  මම කලින් කියපු ප්‍රවීනයන් ඇතුලු හැම කෙනෙක්ම තමන්ගේ වියදම් තමන් දරාගනිමින් තමයි මේ වැඩේට දායක වෙන්නෙ. 
 
ශ්‍රමදානයේ අවස්ථාවක්

මේ සුන්දර මිටියාවතේ දුෂ්කර ජීවිත තරමක් හෝ පහසු කර දෙන්නටත් ලෝකය නොදුටු දරුවන්ගේ දෑස් පාදන්නටත් මේ කණ්ඩායම ගන්නා උත්සාහය අගය කළ යුතුමයි. මේ කටයුත්ත සංවිධානය කරන කණ්ඩායමේ වචන වලින් කියනවානං "මේ වැඩේ සාර්ථකයි කියල කියන්නෙ කවදහරි දවසක මේ පාසලෙන් රටට ලෝකෙට වැඩක් කරන එක දරුවෙක් හරි බිහිවුන දවසට"යි. 

ඉතිං ඒ සිහිනය සැබෑ කරගන්න මුදලින් හරි ශ්‍රමයෙන් හරි දායක වෙන්න ඔබත් කැමතිනම් මෙන්න මේ ෆේස්බුක් ඉවෙන්ට් එකට ගියොත් විස්තර දැනගන්න පුලුවන්. අනාගතයේ දවසක රට බබලවන චරිතයක් චූලාභය ද්විතීයික පාසලෙන් බිහි වුනොත් එය ඔබටත් ආඩම්බර වන්නට කාරණාවක් වේවි. 
මේ දරුවන්ට හෙටක් හදමු


ප.ලි. - 
බ්ලොග් වසන්තයට පෝස්ට් එකක් දෙකක් ලිව්වට පස්සෙ අදයි මේ ලියන්නෙ. ලියන කෙනා පරණ වුනාට බ්ලොග් එක අලුත්. ඒ නිසා මේ පෝස්ට් එකට දකුණු පැත්තෙ follow බොත්තම තියෙන බවත් මේ පෝස්ට් එකට පහලින් comment තීරයක් තියෙන බවත් මතක් කරන්න ඕන. 

6 comments :

  1. චන්දන ගොඩක් ස්තුතියි මේ සටහන තැබුවාට. ඊටත් වඩා ස්තුතියි එදින ඔබගේ රාජකාරී වලින් බැහැරව පැමිණ මේ දරුවන් වෙනුවෙන් ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය වැය කරමින් ඉතා අගනා වැඩමුළුවක් සාමාන්‍ය පෙළ හා උඅසස් පෙළ දරුවන් වෙනුවෙන් පැවැත්වීම.

    ReplyDelete
  2. මතක් කිරීම ගැන ස්තුතියි. මේ කාලවකවානුවේ මම දැකපු හොදම සත්කාරයක් තමා මේක. සංවිධායකයන් කිහිප වතාවක්ම එහාට ගියා නේ.. අනික අර වැඩසටහන් මෙහෙයවීමත් ඉතා හොදයි.. ඔබත් සම්පත් දායකෙයන් බව මා දැක්කා. මිනිස්සු කරන්න ඕන මේ වගේ වැඩ.. ජය වේවා..

    සිත්තරී නගා උපයාගත්ත දේ තමා මේ... ඒ කෙල්ලටත් ජය වේවා. දරුවන්ටත් මුව පුරා සිනාසෙන්න හැකි වේවා...

    ReplyDelete
  3. බ්ලොග් එකක් පටන් ගැනීම සතුටක්. මෙවැනි සත්කාරය පිලිබඳ දැනුවත් කිරීම සතුටක්. මගේ පුද්ගලික මතය තමයි අපි මේ උදව් කරන්නේ අහිංසක ළමයින්ට නොව ආණ්ඩුව නොහොත් දේශපාලකයන්ට බව. මේවා ඔවුන් විසින් සැපයිය යුතු පහසුකම්. කොහොම වුණත් එහෙම නොවෙන නිසා අපි මේ දරුවන්ට ඒ සහනය ලබා දෙන්න ඕන. ඊළඟ වතාවේ ඉඩක් ලැබුනොත් එකතු වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මීට කලින් බ්ලොග් එකක් තිබුනා නේ.. මේ මහත්තැන්ට

      Delete
    2. ඒ්ක අහිමි වුණා නේ. මක් කරන්නද? අලුතින් පටන්ගත්තා.

      Delete
  4. නියමයි. ඉතා අගේ කොට සලකනව මෙම කර්තව්‍යය.
    වැඩේ සංවිධානය කරන අය කිසිම අවුලක් නැතුව වැඩේ ඇදගෙන යනව.

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.