සිත්තරී මං හෙවත් සම්මාන ලැබූ වීරවරිය...

Thursday, September 28, 2017

සිත්තරී මං හෙවත් සම්මාන ලැබූ වීරවරිය...


තිලිණි ෂැල්වින් හෙවත් සිත්තරී මං ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියනවද, වෝල් එකේ ලියනවද කියල හිත හිත දවසක්ම ගත වුණා. ඕන දෙයක් වෙද්දෙන් කියල බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තීරණය කලේ ඇයව මුලින්ම දැන හඳුනාගත්තෙ බ්ලොග්කාරියක් විදියට නිසා. සංස්කාරය විනිවිද කියල බ්ලොග්ස්පොට් වලත්, වර්ඩ්ප්‍රෙස් වලත් යන දෙකේම ලියූ ඇය (දෙකේම ලිව්වෙ එකම දේවල් හැබැයි) දැන් නං ෆේස්බුක් වලට සින්න වෙලා ද කොහෙද.

මීට අවුරුදු දෙකකට විතර ඉස්සර තිලිණි තමන් සේවය කරන කහටලියද්ද චූලාභය ද්විතීයික පාසලේ ඉගෙනගන්න දරුවන්ට තියෙන අඩුපාඩු ගැන, විශේෂයෙන්ම අවුරුදු 6 ක් තිස්සේ ඒ දරුවන්ට බලපාල තිබුණු ජල හිගය ගැන තමන්ගෙ ෆේස්බුක් මිතුරන් එක්ක සාකච්ඡා කලා. ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. එහි ම එක් අංගයක් විදියට මටත් ඒ පාසලට යන්න අවස්ථාව ලැබුණා. ඇයගේ මහන්සියත්, උනන්දුවත්, මිතුරු මිතුරියන්ගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයත් එකතු කරල පාසලට කිලෝමීටර් 1 1/2 ක් දුරින් තියෙන ජල උල්පතකින් පාසලට ජලය සපයාගන්න තිලිණි සමත් වුණා.
කහටලියද්දට පායන ඉර

ඒ විතරක් නෙමෙයි, ඊට සමගාමීව තවත් බොහෝ දේවල් කහටලියද්දෙ සිද්ධ වුණා. කහටලියද්ද කියන්නෙ සුන්දර දුම්බර මිටියාවතේ තියෙන එක ගම්මානයක්. මහනුවර මහියංගන පාරෙ කිලෝමීටර් 49 ක් ගියාම හම්බවෙන උඩදුම්බර නගරයෙන් වම් පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට තමයි කහටලියද්ද හම්බවෙන්නෙ. උඩදුම්බර ඉඳල කහටලියද්දට යන ගමන ඉතාම ප්‍රපාතාකාර බෑවුම් සහිත මාර්ගයක යන්න තියෙන ගමනක්. ඉතින් මේ දුෂ්කර ගම්මානයේ දරුවො මුලින්ම පුළුල් තිර සිනමා දර්ශනයක් නැරඹුවෙ මේ ජල ව්‍යාපෘතිය පටන්ගත්ත දවසෙ. පාසලේ අඩුපාඩු බොහොමයක් සම්පූර්ණ කරල දෙන්නත් තිලිණිගෙ මගපෙන්වීමෙන් ෆේස්බුක් මිතුරන් සමත් වුණා. එදා මෙදා තුර තිලිණි තමන්ගේ පාසලේ දරුවන් වෙනුවෙන් බොහෝ දේ කලා.
අත කඩා ගත් තිලිණි

ඉතින් තිලිණිගෙ ඒ කැපවීමට හිමි සම්මානය පහුගිය 27 වෙනිදා රෑ තිලිණිට ලැබුණා. ඒ “අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් - 2017” සම්මාන උළෙලෙ දි. Ada Derana Sri L ankan of the year 2016 – Unsung Hero ලෙස ඇය අභිෂේක ලැබුවේ ඩයන් ගෝමස් සහ රාධිකා කුමාරස්වාමි යන මහත්ම මහත්මීන් අතින්. ඇයත් සමග ඒ වේදිකාවේ දී සම්මානයට පාත්‍ර වූයේ මුත්තයියා මුරලිදරන්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, ව්‍යාපාරික මහේෂ් අමලීන්, කලාකීර්ති අයිරාංගනී සේරසිංහ සහ රවිබන්දු විද්‍යාපති ආදී දස දිග පතල පෞරුෂයන්. ඉතින්, කොයි තරම් ආඩම්බරයක් ද?

ඉතින්, තිලිණි... කෙදිනක හෝ ඔබෙන් ශිල්ප ලබන දරුවන් වැඩිහිටියන්ව, මිනිසුන් වෙනුවෙන් සේවය කරන මිනිසුන් බවට පත් වන දිනෙක ඔබේ නෙත් තුටු කඳුලින් පිරේවි. එතෙක් ඔබට තව බොහෝ දුර යා හැකියි. ඔබ වෙත එන මතු පරපුර වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්නට මෙම සම්මානය ඔබට ශක්තියක් වේවි.

සුබපැතුම්....!

ප.ලි. - ඇය සම්මාන ලැබූ සම්මාන රාත්‍රිය හෙට (29) රෑ 9.30 ට දෙරණ නාලිකාවෙන් විකාශය වෙනවා...

ප.ප.ලි. - මේ තියෙන්නෙ මේ බ්ලොග් එකේ ෆේස්බුක් පේජ් එක. "හිතෙන හැටි". ලයික් එකක් දැම්මොත් මීට පස්සෙ ලියන පෝස්ට් ටයිම් ලයින් එකටම වැටෙයි.

10 comments :

  1. මේ දවස් වල ඔන්ලයින් නැති නිසා ඔව්වා දැනගෙන හිටියේ නෑ.

    තිලිණිව අවුරුදු ගානක් තිස්සේ දන්න නිසා එයාගේ දරුවන් වෙනුවෙන් තියෙන කැපවීම, ආදරය සහ උනන්දුව ගැන කියන්න දෙයක් නෑ. ඇත්තෙන්ම අපිට ආඩම්බරයක් ඇය. ප්‍රදීප් තව ටිකක් කරුණු කාරණා හොයල මේ ලිපිය ලිව්වනං නොදන්න අයත් දැන ගනීවි මේ කව්ද කියන එක..

    ජය වේවා සිත්තරී.. (පලි- තාම මගේ පින්තුරේ ඇදල දුන්නෙ නෑ හරිද?? හැක්)

    ReplyDelete
  2. මාත් ගොඩක් කාලයක් තිළිණිව මූනු පො‍ත හරහා දැන අඳුනගෙන ඉන්න නිසා ඇය දරුවන් වෙනුවෙන් කරන කැපවීම දැකල තියෙනව. ඇත්තටම මේ සම්මානය ඇයට ලැබිය යුත්තක්. සිත්තරීට තව තවත් දරුවන්ගේ අනාගතය සරු කරන්නට දිරිය ලැබේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. හායි ප්‍රසන්න බායි!!

      Delete
    2. බායි කියාලා යනවද හායි ඔයාලා...

      Delete
  3. මම ගිය සතියේ යකාගේ පඩිපෙලේ යන්න යන කොට නං බායි කියාගෙන ගියේ. ඔහේ දැක්කේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. නෑ නේන්නන්. ඇයි ඔහේගෙ ගෙදර පඩිපෙළවල් නැතෙයි.

      Delete
  4. බොහොම ස්තූතියි මේ අකුරු පෙළ වෙනුවෙන්.
    අපේ දරුවන්ට ඔබ ඇතුළු බොහෝ දෙනා සවියක් වුණා... මේ ඒ දෑත් වල ශක්තියේ ඵලය ❤️

    ReplyDelete
  5. සුභ පැතුම්... මම ඇය ගැදන්නේ නැහැ. නමුත් දැන් ඇය ගැන දැනගත්ත. තව තවත් දරුවන්ගේ දෑස් පාදන්නට දෑත් ශක්තිමත්වේවා...

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.